28.9 C
Galle

ආසාදිත විදුහල්පති පළා යයි. සොයන්න යැයි පොලිසියට හමුදාවට උපදෙස්

Published:

කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔහු වහාම සොයාදෙන ලෙස පොලිසියට හා හමුදාවට දැනුම් දී ඇත.

මෙම විදුහල්පතිවරයා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සඳුදා (15) පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි. එම පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු නිවසට වී නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබුණ ද ඊයේ (16) ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ද ගොස් ඇති බවට මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

විදුහල්පතිවරයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු ආසාදිත බවට දැනුම්වත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු සොයා ගෝනපීනුවල පිහිටි නිවසට යනවිට නිවස වසා දමා ප්‍රදේශයෙන් බැහර ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙම විදුහල්පතිවරයා මේ වනවිට ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථන ද ක්‍රියාවිරහිතකර ඇති බවත් ඔහු යා හැකියැයි සිතූ ස්ථානයන් පරීක්ෂාකළ ද එම ස්ථානයන්හි පවා නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බැවින් වහාම සොයා දෙන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මේ වනවිට පොලිසියට හා හමුදාවට දැනුම් දී තිබේ.

විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් වූ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගුරුවරු 50කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම සඳහා හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි. ඔවුන්ගෙන් අයෙකු ආසාදිතවීම සහ විදුහලේ සිසුවකුගේ පියෙක් ආසාදිතවීම හේතුවෙන් විදුහල්පතිවරයා පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!