ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් එම පාසලේ ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් කිහිප දෙනකුට ඊයේ (18) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් කිසිවකු වාර්තාවී නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
විදුහල්පතිතුමාගේ ආශ්‍රිතයන් ඇතුළු 100ක පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද ඊයේ (18) පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා දී තිබුණේ 70ක පිරිසක් පමණි. ඔවුන් සියලු දෙනාගේම පීසීආර් ප්‍රතිඵල අද (19) දහවල් ලැබී තිබිණි. ඒ පිරිස අතරින් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැත.
මේ අතර එම විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් ඔහු මීට පෙර සේවය කළ මාගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනය කළ බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට මෙම වෙබ් අඩවිය මගින් වාර්තා කළ අතර එම තොරතුරු වාර්තා කරනු ලබන්නේ පාර්ශව කිහිපයකින් ම කරුණු සනාථ කරගැනීමෙන් පසුවය. නමුත් අදාල විදුහල්පතිවරයා දිගින් දිගටම කියා සිටින්නේ තමන් කිසිදු අවස්ථාවක පළා නොගිය බවයි. තමන් නිවසේ රැඳී සිටිය බව ද ඔහු සනාථ කිරීමට උත්සාහ ගනී. මේ අතර මීට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාද පැවැත්වූ වෛද්‍යවරයකු ද ඔහුගේ සහායට ඉදිරිපත්ව සිටින බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා එසේ කීව ද තමන් ආසාදිත බව දැනගත් මොහොතේ පටන් 17 වැනි දා සවස 6.20 වනතුරු සිය නිවසේ නොසිටි බවට සනාථ කළ හැකි සාක්ෂි අප සතුව තිබේ. ඔහු ඒ සම්බන්ධ යම් නීතිමය පියවරකට යන්නේ නම් ආදල අංශ වෙත එම කරුණු සනාථ කිරීමට අප සූදානම් බව ද rata.lk පාඨකයන් වෙත ප්‍රකාශ කරන්නෙමු.


