කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානයට ද හැකියාව ලැබෙන පරිදි මළ සිරුරු ඉවත්කිරීම සම්බන්ධ රෙගුලාසි සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් අද (25) රාත්‍රී නිකුත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කොරෝනා මෘතදේහ ඥාතීන්ගේ කැමැත්ත අනුව භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම යන ඕනෑම ක්‍රමයකට බැහැර කිරීමේ අවසරය හිමිවේ.
අද (25) උදෑසන කොරෝනා මෘතදේහ ඉවත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවසන් තීරණය ගැනීමට පත්කළ තාක්ෂණික කමිටුවේ රැස්වීමක් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගේ ද සහභාගීත්වයෙන් පැවැතිවිණි. එම රැස්වීම සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් පත්කර තිබූ විශේෂඥ කමිටුව ද කැඳවා තිබිණි.
එසේ වුව ද අධිකරණ වෛද්‍යවරුන්ගේ වැඩි සහභාගීත්වයකින් පත්කර තිබූ තාක්ෂණ කමිටුව මීට පෙර සිය අවසන් තීරණය දැනුම් දෙමින් කියා තිබුණේ කොරෝනා මෘත දේහ ඉවත්කිරීමට භූමදානය කිරීම යන්නට තම කමිටුව එකඟ නොවන බවයි.
එසේ වුව ද ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව ජිනීවා සමුළුවේ දී සාකච්ඡාවට ගැනෙන බැවින් එම චෝදනාවෙන් ගැලවීමටනම් මුස්ලිම් රටවල සහය රජයට අවශ්‍යව තිබිණි. නමුත් කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානයට ඉඩ නොදීම හා ඒවා ඥාතීන්ගේ විරෝධය නොතකා ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් රටවල් 08ක් ශ්‍රී ලංකාවට එරෙහිවන බවට තිබූ සැකයක් හේතුවෙන් අද මෙම තීරණයට එළැඹි බව අධිකරණ වෛද්‍යවරු චෝදනා කරති.
ඔවුන් පවසන්නේ තම නිර්දේශය කවරක් වුව ද අමාත්‍යාංශය අවසන් තීරණය ක්‍රියාත්මක කරන බවයි. නමුත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනය ද මෙරට දී කොරෝනා සෑදී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමිදාන කිරීමට විරුද්ධ බව ද අධිකරණ වෛද්‍යවරුම කියති.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් වූ පසු එතැන් සිට මෙරට කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර හිමිවෙයි.


