පළාත් අතර සංචරණ සීමා පැනවෙන්නේ ඉදිරි පැය 48 ඇතුළත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පුද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් පවසයි.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් පළාත් අතර සංචරණ සීමා මැයි මස 30 වැනි දා දක්වා පනවන බව කීව ද එම සීමා පැනවෙන්නේ කවර දිනයක සිට ද යන්න ප්‍රකාශ කළේ නැත.
මෙම කරුණ සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස කරුණු පැහැදිලි කළේය.
“ඊයේ (10) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ කීපයක හමුවක් පැවැත්වුණා. ඔවුන් යෝජනා කළේ රටම හුදෙකලා කිරීමෙන් තොරව අදාළ ප්‍රදේශවලට සංචරණ සීමා පනවන ලෙස යි
පළාත් අතර සංචරණ සීමා අවශ්‍ය පරිදි පැනවීමට ඒ අනුව තීරණය වී තිබෙනවා. මෙය ක්‍රියාත්මක කළ හැකි ක්‍රමය දැනුම් දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දැනටමත් දැනුම් දී තිබෙනවා. ඉදිරි පැය 48 තුළදී සංචරණ සීමා පැනවීමට නියමිතයි. සංචරණ සීමා පැනවීමේ දී ඒවා අවසන් වන දිනය ද දැනට ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව තමයි දැනට මැයි 30 වන දා දක්වා පමණක් මෙම සීමා බලපැවැත්වෙන බවට නිවේදනය කර ඇත්තේ.”


