32.7 C
Galle

අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ

Published:

වතුකරයේ කාන්තාවන් සවිබල ගැන්වීම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා පැවසීය. හෙතෙම මෙසේ පවසා සිටියේ “යුක්තිය හා තිරසාර විසඳුම් සඳහා මලෛයහ කාන්තා හඬ පුළුල් කරමු” යන තේමාව යටතේ පසුගියදා සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමිනි. ගාල්ලේ සෙඩ්ගෝල් ආයතනයේ ශාලාවේදී පැවැති මෙම වැඩසටහන වතුකරයේ ජනතා හඬ සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වසර දෙසීයකට අධික කාලයක් විවිධ පීඩාවන්ට ලක්වූ වතුකරයේ කාන්තාවන් අද සමාජ හා ආර්ථික ක්ෂේත්‍රවල ඉදිරියට පැමිණ තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන බවයි. රටේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන් වන අතර, ආර්ථිකයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සියයට 32ක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, පෙර කාලයේ වතුකරයේ ජනතාව නියෝජනය කළේ ප්‍රභූ කාන්තාවන් වුවද, වර්තමානයේ සාමාන්‍ය ජනතාව අතරින් නායකත්වයට පැමිණෙන කාන්තාවන්ගේ වර්ධනය සතුටට කරුණක් බවද ඔහු සඳහන් කළේය. මලෛයහම් ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමට තමා කැපවී කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා ඒහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාත් කතෝලික සභාවේ රදගුරු තැන්පත් අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් සහ බෞද්ධ හින්දු ඉස්ලාම් ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. වැඩසටහන අතරතුර මලෛයහම් කාන්තාවන් විසින් තම සමාජ, ආර්ථික හා සංස්කෘතික ගැටළු ඉදිරිපත් කරමින් වාර්තාවක් ද භාර දෙන ලදී.

කාන්තාවන්ගේ හඬ ප්‍රබල කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කරවීම සඳහා මෙම වැඩසටහන වැදගත් වේදිකාවක් බවද සංවිධායකයන් සඳහන් කළහ.

Related articles

Recent articles

error: Content is protected !!