ලොව ශක්තිමත්ම සත්වයෙකු ලෙස සැලකෙන ඩයිනෝසරයන් පවා විනාශ වී ගියද ජීවිතය ජයගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් ලෙස කැරපොත්තා සැලකෙයි. ඒපමණක් නොව ලෝකයේ සිදු වූ විවිධ විනාශකාරී අවස්ථා ගණනාවකදීම ඔවුන් ජීවිතය ජයගෙන තිබේ. වසර මිලියන ගණනාවක් පුරා සිදුවූ පරිණාමය ඔවුන් ලෝකයේ අතිශය ශක්තිමත්ව ජීවිත රැකගන්නා සත්ත්වයන් බවට පත් කර ඇත.
එහෙත්, මෙම “අතිශය ශක්තිමත්” සත්ත්වයා ගැන සිතූ විට බොහෝ දෙනාට ඇතිවන්නේ පිළිකුලක් පමණි. නමුත්, මේ සරල පෙනුම ඇති සත්ත්වයා මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට භාවිතා කළ හැකි බව විද්‍යාඥයින් දැන් සනාථ කරමින් සිටී.
අභ්‍යවකාශයත් පරදවන ශක්තියක්

කැරපොත්තන් සතු විශේෂ හැකියාවන් විශ්මයජනකය. ඔවුන්ට ඉතාමත් කුඩා ඉඩවලට සරිලන ලෙස ශරීරය හැඩගසාගනිමින් ගමන් කළ හැක. තවද, ඔවුන්ගේ ප්‍රතිචාර වේගය සහ චලනය අතිශය වේගවත්ය. තම ශරීර බරට වඩා සමාන වශයෙන් 1000 ගුණයකට වැඩි බලයක් දරා ගැනීමටද ඔවුන්ට හැකියාව ඇත.
අතක් හෝ පායක් නැතිවී ගියත් නැවත වර්ධනය වීමද, හිස නොමැතිව දින කිහිපයක් ජීවත් වීමද ඔවුන්ගේ විශේෂත්වයන් අතර වේ.
මෙවැනි ලක්ෂණ අනුව, අනතුරු අවස්ථාවලදී මිනිසුන්ට උදව් කිරීමට ඔවුන් සුදුසුම “ජීව විද්‍යාත්මක යන්ත්‍ර” බවට පත්වී තිබේ.
“සයිබෝර්ග්” – විද්‍යාව සහ සොබා දහම එක්වෙයි

ඔසාකා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සාමාන්‍ය කැරපොත්තන් ‘සයිබෝර්ග් ජීවීන්’ (කාබනික සහ ජෛව යාන්ත්‍රික ශරීර කොටස් දෙකම සහිත ජීවියෙකි) බවට පත් කරමින් නව සංකල්පයක් හඳුන්වා දී ඇත.
Soft Robotics සඟරාවේ පළ වූ මෙම පර්යේෂණය අනුව, කැරපොත්තාගේ ශරීරයට කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයක් (electronic backpack) සවි කර ඔවුන්ගේ ඇන්ටෙනා හරහා විද්‍යුත් සංඥා යොදා ගමන් මාර්ගය පාලනය කරයි.
මෙම පද්ධතිය මඟින් බාධක හඳුනාගැනීම, උෂ්ණත්වය මැනීම, වායු ගුණාත්මකභාවය, ව්‍යුහ ස්ථායීතාව වැනි තොරතුරු රැස් කළ හැකිය.
අනතුරු සිදුවන විට ජීවිත බේරන අළුත් මිතුරෙක්
භූමිකම්පාවක් හෝ ගොඩනැගිලි කඩා වැටීමක් සිදුවූ විට, මිනිසුන්ට හෝ යන්ත්‍රවලට ළඟා වීමට අපහසු ස්ථාන වලට මෙම සයිබෝර්ග් කැරපොත්තන් යැවිය හැක.
සාමාන්‍ය රොබෝවන්ට වඩා, අඩු වියදමකින්, අඩු බලශක්තියෙන්, වඩාත් සංකීර්ණ පරිසරවල ගමන් කිරීමට ඔවුන්ට හැකිවීම විශේෂ වාසියකි.
කෙසේ වුවද පර්යේෂණයේදී, වැලි, ගල් සහ ලී වලින් යුත් පරිසරවල ඔවුන් සාර්ථකව ගමන් කළද, සංකීර්ණ බාධක අතරින් යාමට ටිකක් වැඩි කාලයක් ගතවී ඇත.
රොබෝවෙකු නිර්මාණය කිරීමට වඩා සරලයි

මෙම පර්යේෂණ කණ්ඩායමේ නායක මොචාමඩ් අරියන්ටෝ පවසන්නේ,
“කුඩා පරිමාණයේ රොබෝවක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණය. එය මඟහැරීමට අපි සරල මාර්ගයක් තෝරාගත්තෙමු” යනුවෙනි.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ,
“මෙම ජීව-යන්ත්‍ර (biohybrid) පද්ධතිය රොබෝවන් මුහුණ දෙන ගැටළු විසඳමින්, සජීවී අවස්ථාවලට ගෙන යා හැකි බවයි.”
කැරපොත්තන් මරන්න පෙර දෙවරක් හිතන්න

ඔබ ඊළඟ වරට කැරපොත්තෙක් දුටුවහොත් ඌ මරා දැමීමට පෙර සිතන්න. ඒ සත්ත්වයා අනාගතයේ කාගේ හෝ ජීවිතයක් බේරාගන්න “නිහතමානී වීරයෙකු” විය හැක.
පිළිකුලට ලක්වූ මෙම සත්ත්වයා, විද්‍යාත්මක ලෝකයේ “අත්‍යාවශ්‍ය මිතුරකු” බවට පත්වෙමින් තිබේ.


