28.8 C
Galle

විදේශ ගමන් සිදුකරන ඇමෙරිකානු පුරවැසියන් වැඩි අවධානයෙන් ඉන්න

Published:

ලොව පුරා ඉහළ යමින් පවතින ආතති තත්ත්වයන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට බාහිරව ගමන් කරන පුරවැසියන්ට වැඩි අවධානයෙන් සිටීමට උපදෙස් ලබාදී තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වන්නේ, විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ආරක්ෂක අවදානම් ඉහළ යාම හේතුවෙන් සංචාරකයින් වැඩි සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම, වරින් වර ගුවන් මාර්ග වසා දැමීම වැනි තත්ත්වයන් හේතුවෙන් ගමන් බාධා ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත.

ආරක්ෂක නිවේදන අනුව, ඉරානයට අනුබල දෙන කණ්ඩායම් ලොව පුරා ඇමෙරිකානුවන්ට සම්බන්ධ ස්ථාන ඉලක්ක කරගැනීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ. මේ හේතුවෙන් විදේශ ගමන් සිදු කරන ඇමෙරිකානු පුරවැසියන්ට ආසන්නතම ඇමෙරිකානු තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාල විසින් නිකුත් කරන ආරක්ෂක දැනුම්දීම් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම, Smart Traveler Enrollment Program (STEP) යටතේ ලියාපදිංචි වී නවතම ආරක්ෂක තොරතුරු ලබාගැනීමටත්, “U.S. Department of State – Security Updates for U.S. Citizens” WhatsApp නාලිකාව හෝ @TravelGov X ගිණුම මඟින් යාවත්කාලීන තොරතුරු ලබාගැනීමටත් උපදෙස් ලබාදී තිබේ.

පසුගිය මාසයේදී ඇමෙරිකාව සහ ඊස්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් පසුබිම් කරගෙන ගෝලීය ආතතිය වැඩිවී ඇති අතර, නෝර්වේ සහ කැනඩාව ඇතුළු රටවල ඇමෙරිකානු තානාපති කාර්යාල කිහිපයක් ද ප්‍රහාරයන්ට ලක්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ආරක්ෂාව තවදුරටත් තර කිරීම සඳහා ඇමෙරිකානු විදේශ කටයුතු ලේකම් මාර්කෝ රූබියෝ විසින් සියලුම තානාපති කාර්යාලවල ආරක්ෂක තත්ත්වය වහාම සමාලෝචනය කිරීමට ද උපදෙස් ලබාදී ඇති අතර, මැද පෙරදිග කලාපයෙන් පිටව යන ෙලස ද ඇමෙරිකානුවන්ගෙන් මෑතදී ඉල්ලා තිබිණ.

මෙම තත්ත්වය හමුවේ, විදේශ ගමන් සිදු කරන සියලුම ඇමෙරිකානු පුරවැසියන් වැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related articles

Recent articles

error: Content is protected !!