28.8 C
Galle

ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්

Published:

පර්සියන් ගල්ෆ් කලාපයේ පවතින යුද්ධය සෘජුවම මිනිස් ජීවිත විනාශ කරන අතරම, දිගුකාලීනව පරිසරයට සිදුවන හානිය අතිශය ගැඹුරු හා භයානක බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන් අනතුරු අඟවන්නේ, මේ යුද්ධයෙන් ඇතිවන “පරිසර දූෂණ” බලපෑම් යුද්ධය අවසන් වූ පසුද දශක ගණනාවක් පවතිනු ඇති බවයි.

ගිනිගැනීම් හා පිපිරීම් නිසා වායුගෝලයට විෂ වායු

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මඟින් තෙල් ගබඩා, ගෑස් ක්ෂේත්‍ර සහ කාර්මික ස්ථාන දැවී යාම දැකගත හැකි විය. විශේෂයෙන් ටෙහෙරාන් හා ඇල්බ්‍රෝස් පළාත ආශ්‍රිතව ඇතිවුණු ගිනි ජාලා මඟින් කළු දූම් විශාල ලෙස අහසට නැඟී තිබේ.

මෙවැනි ගිනි අනතුරු මඟින් නිකුත් වන ප්‍රධාන විෂ වායු අතර නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි වාෂ්පීය ජීව රසායනික සංයෝග (VOCs) ඇතුළත් වන අතර, මේවා වායුගෝලය හරහා, දුරින් පවතින රටවල් වෙත පවා පැතිර යා හැකි බව විද්‍යාඥයෝ කියති.

තවද, PM2.5 ලෙස හඳුන්වන ඉතා කුඩා දූවිලි අංශු මිනිස් ශරීරයට ඉතාමත් හානිකර වන අතර, ඒවා සෘජුවම පෙනහළු වලට සහ රුධිරයට පවා ඇතුල් විය හැකි බව ඔවුහු පවසති.

“කළු වැසි” – අහසෙන් වැටෙන විෂ

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, තෙල් ගබඩා දැවීමෙන් නිකුත් වන දූෂිත වායු සංයෝග වායුගෝලයේ එකතු වී “කළු වැසි” ලෙස නැවත භූමියට වැටෙන බවයි.

මෙවැනි වැසි තුළ හයිඩ්‍රෝකාබන, සල්ෆර් සංයෝග, නයිට්‍රජන් සංයෝග වැනි විෂ ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර, ඒවා භූමියට, ජලයට සහ වෘක්ෂවලට සෘජුවම හානි කරයි.

භූගත ජලය – දීර්ඝකාලීන විනාශය

විශේෂඥයින් පවසන්නේ, බෝම්බ ප්‍රහාර සහ තෙල් ගිනිගැනීම් මඟින් නිපදවන විෂ ද්‍රව්‍ය පස තුළට හා භූගත ජලයට පිවිස වසර ගණනාවක් එහි රැඳී පැවතිය හැකි බවයි.

මෙමගින් ඇති කරන ප්‍රධාන ප්‍රතිවිපාක ලෙස කෘෂිකාර්මික භූමිය විනාශ වීම, භූගත ජලය පානයට නුසුදුසු වීම වැනි මිනිස් සෞඛ්‍යයට දිගුකාලීන බලපෑම් දැක්විය හැකිය.

මෙවැනි දූෂණයන් නැවත පිරිසිදු කිරීම ඉතා සංකීර්ණ හා වියදම් අධික ක්‍රියාවලියක් වන අතර, සමහර අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ නොහැකි බව ද සඳහන් වේ.

මුහුදු පද්ධති හා ජල ජීවිතයට බලපෑම

පර්සියන් ගල්ෆ් කළාපය තුළ තෙල් කාන්දු වීම හේතුවෙන් ජලයේ ඔක්සිජන් මට්ටම පහළ යාම, මාළු හා අනෙකුත් ජල ජීවීන් මිය යාම, කොරල් පද්ධතියට (coral reefs) හානි වීම වැනි බලපෑම් ඇතිවිය හැක.

ලවණ ජලය පිරිසිදු කිරීමේ පද්ධතිට බරපතල තර්ජනයක්

ගල්ෆ් කලාපයේ රටවල් බොහෝමයක් පානීය ජලය සඳහා මුහුදු ජලය පිරිසිදු කිරීමේ (desalination) තාක්ෂණය මත රඳා පවතින බැවින්, මුහුදේ තෙල් කාන්දු වීම එම පද්ධතිවලට දැඩි බලපෑමක් ඇති කරයි.

විශේෂයෙන් ෆිල්ටර් පද්ධති අවහිර වීම, ජල නිෂ්පාදනය අඩාල වීම, පිරිසිදු කිරීමේ වියදම් ඉහළ යාම සහ අවසානයේ ජල හිඟයක් ඇති වීමට පවා හේතු විය හැක.

මිනිස් සෞඛ්‍යයට දිගුකාලීන අවදානමක්

මෙම දූෂණය මඟින් ශ්වසන රෝග, හෘද රෝග සහ පිළිකා වර්ධනය වීමේ අවදානම ඉහළ යා හැකි අතර, විශේෂයෙන් ළමයින් සහ වයස්ගත පුද්ගලයින්ට මෙම අවදානම වැඩි වේ.

යුද්ධය අවසන් වුවත් – විනාශය ඉදිරියට

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, වායු දූෂණය කාලයත් සමඟ අඩු වුවද, පස තුළ හා ජලයේ ඇති විෂ ද්‍රව්‍ය දශක ගණනාවක් පුරා පවතිනු ඇති බවයි.

උදාහරණයක් ලෙස ගාසා කලාපයේ යුද්ධයෙන් පසු පරිසර පිරිසිදු කිරීම සඳහා දශක ගණනාවක් අවශ්‍ය විය හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි.

නිරීක්ෂණ හා පාලනය – අත්‍යවශ්‍ය පියවර

විශේෂඥයින් අනුව, මෙම තත්ත්වය පාලනය කිරීමට සජීවී වායු හා ජල නිරීක්ෂණ පද්ධති, සැටලයිට් තාක්ෂණය ඇතුළු වේගවත් පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ.

ගල්ෆ් කලාපයේ යුද්ධය මිනිස් ජීවිත පමණක් නොව, පෘථිවියේ පරිසර පද්ධති ද දිගුකාලීනව විනාශ කිරීමට හේතු වන බව පැහැදිළි වේ.

මෙය යුද්ධයක් පමණක් නොව, අනාගත පරම්පරාවන්ට උරුම වන පාරිසරික අර්බුදයක් බව විශේෂඥයින් දැඩි ලෙස අවධාරණය කරයි.

Related articles

Recent articles

error: Content is protected !!