25.4 C
Galle

අප තවමත් පැය, මිනිත්තු සහ තත්පර ගණින්නේ ඇයි?වසර 5000ක් පැරණි රහසක්

Published:

ලෝකය කෙතරම් තාක්ෂණික අතින් දියුණු වුවද, අප අදටත් කාලය මැනීම සඳහා භාවිත කරන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ ශිෂ්ටාචාරයන් විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. 18 වැනි සියවසේදී ප්‍රංශ විප්ලවවාදීන් කාලය මැනීමේ ක්‍රමය ‘දශම ක්‍රමයට’ (පැයට මිනිත්තු 100 බැගින්) වෙනස් කිරීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. අප තවමත් පැයට මිනිත්තු 60ක් සහ මිනිත්තුවට තත්පර 60ක් ලෙස ගණනය කරන්නේ ඇයි? ඒ පිටුපස ඇති අද්භූත ඉතිහාසය දෙස බලමු.

සුමේරියානුවන්ගේ ‘60’ පාදක කරගත් ගණිතය

කාලය මැනීමේ මෙම අමුතු ක්‍රමයේ මූලාරම්භය ක්‍රි.පූ. 5300 තරම් ඈත අතීතයේ මෙසපොතේමියාවේ (වර්තමාන ඉරාකය) විසූ සුමේරියානු ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ලොව ප්‍රථම ලිඛිත භාෂාව නිපදවූ ඔවුන්, සිය ගණිත පද්ධතිය සඳහා පාදක කරගත්තේ අංක 10 නොව ‘අංක 60’ ය.

ඔවුන් මෙලෙස 60 තෝරා ගැනීමට හේතුව ලෙස එක් රසවත් මතයක් පවතී. ඔබේ අත්ල දිග හැර බලන්න; මාපටැඟිල්ල හැර අනෙක් ඇඟිලි හතරේ සන්ධි (joints) ගණන 12කි. එක් අතක මෙම සන්ධි 12, අනෙක් අතේ ඇඟිලි පහෙන් (12 x 5) ගුණ කළ විට ලැබෙන අගය 60කි. එමෙන්ම 60 යන අංකය 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20 සහ 30 යන අංක රාශියකින් බෙදිය හැකි වීම ගණිතමය කටයුතුවලදී ඔවුන්ට පහසුවක් විය.

ඊජිප්තුවෙන් පැමිණි ‘පැය 24’

දවස පැය 24කට බෙදීමේ ගෞරවය හිමිවන්නේ පුරාණ ඊජිප්තුවරුන්ටය. ක්‍රි.පූ. 2100 තරම් ඈත අතීතයේදී ඔවුන් රාත්‍රිය පැය 12කට බෙදා වෙන් කර තිබුණේ තරු රටා නිරීක්ෂණය කිරීමෙනි. පසුව ඔවුන් දිවා කාලයද පැය 12කට බෙදා වෙන් කළ අතර, ඒ අනුව සම්පූර්ණ දවස පැය 24ක් ලෙස ස්ථාවර විය. මුල් කාලයේදී සූර්ය තැටි (Sundials) සහ ජල ඔරලෝසු (Water clocks) හරහා ඔවුන් කාලය මැනීම සිදු කළහ.

බැබිලෝනියානුවන්ගේ මිනිත්තු සහ තත්පර

සුමේරියානුවන්ගෙන් පසු මෙසපොතේමියාවේ බලයට පත් බැබිලෝනියානුවන්, සුමේරියානු ‘60’ පාදක කරගත් ක්‍රමය තවදුරටත් දියුණු කළහ. ඔවුන් අහසේ ග්‍රහලෝකවල ගමනාගමනය මැනීම සඳහා ‘60’ පාදක කරගත් කුඩා ඒකක භාවිත කළහ. ග්‍රීක ජාතිකයන් මෙම බැබිලෝනියානු තාරකා විද්‍යාත්මක දත්ත වැළඳගත් අතර, එය සියවස් ගණනාවක් පුරා විකාශනය වී අද අප භාවිත කරන මිනිත්තු සහ තත්පර දක්වා පැමිණ තිබේ.

ප්‍රංශයේ ‘දශම කාල’ අත්හදා බැලීම

1793 දී ප්‍රංශ සමූහාණ්ඩුව විසින් කාලය මැනීම සඳහා නව ‘විප්ලවවාදී දශම ක්‍රමයක්’ හඳුන්වා දෙන ලදී. ඒ අනුව දවසට පැය 10ක්, පැයට මිනිත්තු 100ක් සහ මිනිත්තුවකට තත්පර 100ක් තිබිණ.

නමුත් මෙම ක්‍රමය ජනතාව අතර ජනප්‍රිය වූයේ නැත. පවතින ඔරලෝසු සියල්ල අලුතින් නිර්මාණය කිරීමට සිදුවීමත්, අසල්වැසි රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඇති වූ අවුල් සහගත තත්ත්වයත් නිසා මාස 17කට පසු මෙම ක්‍රමය අතහැර දැමීමට සිදු විය.

නූතන ලෝකය සහ පරමාණුක ඔරලෝසු

අද වන විට අප සතුව අතිශය නිරවද්‍ය ‘පරමාණුක ඔරලෝසු’ (Atomic clocks) පවතී. අන්තර්ජාලය, ජී.පී.එස් (GPS) තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ සියල්ල මෙහෙයවනු ලබන්නේ මෙම තත්පරයේ නිරවද්‍යතාවය මතය.

නමුත් මේ සියල්ල පාලනය කරනු ලබන්නේ වසර 5000කට පෙර අතීත මිනිසුන් ගත් තීරණයක් මත පදනම්වය. පැය, මිනිත්තු සහ තත්පර යනු හුදෙක් මිනිසා විසින් නිර්මාණය කරගත් සම්මුතීන් සමූහයකි. එය අපගේ සංස්කෘතියට කොතරම් තදින් බද්ධ වී ඇත්ද යත්, එය වෙනස් කිරීම ලෝකයට දරාගත නොහැකි තරම් සංකීර්ණ කාර්යයක් වී ඇත.

(BBC ඇසුරිණි)

Related articles

Recent articles

error: Content is protected !!