26.7 C
Galle

විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති

Published:

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා එල්ල වන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් හෙට එනම් අප්‍රේල් මස දෙවැනිදා උදෑසන අටේ සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

පසුගිය තිස්එක් වැනිදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද උදෑසනින් අවසන් වුවද බලධාරීන්ගෙන් තම ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට සිදු වූ බව එම සංගමය පවසයි.

අද (01) පස්වරුවේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව හෙට දිනයේදී දිවයින පුරා රෝහල් රැසක දෛනික සේවාවන්ට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් පවතී.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ වෛද්‍ය පරිපාලන පද්ධතිය තුළ පවතින විනිවිදභාවය මෙවැනි දේශපාලන මැදිහත්වීම් නිසා දැඩි ලෙස උල්ලංඝනය වන බවයි. විශේෂයෙන්ම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේදී පවතින විධිමත් ක්‍රියාවලියට පරිබාහිරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටී.

තම සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වහාම මැදිහත් වී විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී මීටත් වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වීමට පසුබට නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related articles

Recent articles

error: Content is protected !!