26 C
Galle

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්

Published:

ඉන්දුනීසියාවේ මොලුකා මුහුද (Molucca Sea) කේන්ද්‍ර කරගනිමින් අද (02) උදෑසන රික්ටර් පරිමාණයේ මැග්නිටියුඩ් 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි. මෙම භූ කම්පනයත් සමඟ ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල වෙරළ තීරයන් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

භූ කම්පනය හේතුවෙන් උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක ගොඩනැගිලි සුන්බුන්වලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම් තහවුරු කර ඇත. මනාඩෝ (Manado) නගරයේ ක්‍රීඩා සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි රැසකට බරපතල හානි සිදුව ඇති අතර, ප්‍රබල දෙදරුම් හමුවේ ගෘහ භාණ්ඩ සහ ලෝහමය ව්‍යුහයන් පවා විනාශ වී ඇති අයුරු දැකගත හැකිය.

ප්‍රධාන භූ කම්පනයෙන් පසුව මැග්නිටියුඩ් 5.5 සහ 5.2 ක අගයන් ගත් පසු කම්පන (Aftershocks) දෙකක් වාර්තා වී ඇති අතර, තවදුරටත් එවැනි කම්පන ඇතිවිය හැකි බවට එරට භූ විද්‍යා ආයතනය අනතුරු අඟවයි. භූ කම්පනයේ කේන්ද්‍රය ටර්නේට් (Ternate) නගරයේ සිට කිලෝමීටර් 120 ක් සහ මනාඩෝ නගරයේ සිට කිලෝමීටර් 160 ක් දුරින් මුහුදේ පිහිටා තිබුණි.

භූ කම්පනය සිදුවන අවස්ථාවේ වෙළඳසැල්වල සිටි ජනතාව කලබලයට පත්ව වීදි වෙත දිවවිත් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල විදුලි බලය ඇණහිට තිබේ. “සෑම දෙයක්ම සෙලවෙන්න ගත්තා, මිනිස්සු බය වෙලා පාරවල් දිගේ දිව්වා” යැයි බිටුන් (Bitung) නගරයේ වැසියෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත. වෙරළ ආසන්නයේ පිහිටි පාසල් වහාම වසා දමා දරුවන් නිවෙස් වෙත යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම භූ කම්පනය හේතුවෙන් ජපාන වෙරළ තීරයේ මුහුදු මට්ටමේ සුළු වෙනස්වීම් සිදුවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් ජපානයට ඉන් සුනාමි තර්ජනයක් එල්ල නොවනු ඇති බව සඳහන් වේ.

ප්‍රදේශයේ ජනතාවට වෙරළාසන්න ප්‍රදේශවලින් සහ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඉන්දුනීසියානු බලධාරීන් වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!