28.4 C
Galle

මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?

Published:

වසර 50කට පසු මිනිසා යළිත් සඳ කරා යන ගමන නිල වශයෙන් ආරම්භ විය. පසුගිය බදාදා (01) රාත්‍රියේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ ‘ආටෙමිස් II’ යානය, මේ වන විට සාර්ථකව පෘථිවිය වටා කක්ෂගත වී තිබේ. මෙය 1972 ඇපලෝ මෙහෙයුම්වලින් පසු සඳ බලා යන ප්‍රථම මානව මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.

දියත් කිරීමේ තීරණාත්මක හෝරාව

දියත් කිරීමට පෙර රොකට්ටුවේ බැටරි පද්ධතියක උෂ්ණත්වය පිළිබඳ තාක්ෂණික ගැටලුවක් මතු වුවද, එය පද්ධතියේ දෝෂයක් මිස රොකට්ටුවේ ගැටලුවක් නොවන බව තහවුරු කරගැනීමෙන් පසු නාසා (NASA) ආයතනය ගුවන්ගත කිරීමට අවසර ලබා දුන්නේය. කාලගුණය ද 90%ක්ම මෙහෙයුමට හිතකර විය.

ලොව බලගතුම රොකට්ටුව වන Space Launch System (SLS) රොකට්ටුව දැවැන්ත තෙරපුමක් සහිතව ගුවන්ගත වූයේ මුළු ප්‍රදේශයම දෙදරවමිනි. ගුවන්ගත වී විනාඩියක් ඇතුළත එය ශබ්දයේ වේගය අභිබවා ගිය අතර, මිනිත්තු කිහිපයකින් එහි සවි කර තිබූ දැවැන්ත ‘බූස්ටර්’ රොකට්ටු ඉන්ධන දවා අවසන් කර අත්ලාන්තික් සාගරයට පතිත විය.

කක්ෂයේදී කළ ‘ටෙස්ට් ඩ්‍රයිව්’ එක

පෘථිවි කක්ෂයට පිවිසි පසු ගගනගාමීන් තමන් ගමන් කරන ‘ඔරායන්’ (Orion) යානය අතින් පාලනය කරමින් (Manual mode) පරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී යානය මව් රොකට්ටුවේ කොටසකින් වෙන් වී, නැවත ඒ අසලටම මෙහෙයවමින් අනාගතයේදී වෙනත් යානා සමඟ සම්බන්ධ වීමට (Docking) අවශ්‍ය පුහුණුව ලබා ගත්තේය.

ඉතිහාසය අලුත් කරන සිව්දෙනාගේ කණ්ඩායම

මෙම මෙහෙයුමේ ගමන් ගන්නා රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිව්දෙනා දැනටමත් ඉතිහාසගත වී අවසන්ය.

  • ක්‍රිස්ටිනා කොක්: සඳ වටා යන ප්‍රථම කාන්තාව.
  • වික්ටර් ග්ලෝවර්: සඳ වටා යන ප්‍රථම කළු ජාතිකයා.
  • ජෙරමි හැන්සන්: සඳ කරා යන ප්‍රථම කැනේඩියානු ජාතිකයා.

පෘථිවි කක්ෂයට පිවිසීමෙන් පසු ගගනගාමීන් ඔවුන්ගේ තැඹිලි පැහැති අභ්‍යවකාශ ඇඳුම් ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සැරසී ‘කැම්පර් වෑන්’ රථයක් තරම් වන කුඩා ඉඩකඩ තුළ පදිංචියට හුරු වෙමින් සිටිති. මෙහෙයුම ආරම්භයේදීම යානයේ වැසිකිළියේ මතු වූ කාර්මික දෝෂයක් ද ගගනගාමීන් විසින්ම සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.

මෙවර සඳ මත පා නොතබන්නේ ඇයි?

මෙම මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබෑමක් සිදු නොකරන අතර, එය බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකිය. ආටෙමිස් II යනු මූලික වශයෙන් “පරීක්ෂණ මෙහෙයුමකි”. මිනිසුන් සහිතව සඳ මත ගොඩබැසීමට පෙර, ඒ සඳහා භාවිතා කරන නව තාක්ෂණය සහ ගගනගාමීන්ගේ ජීව ආධාරක පද්ධති ගැඹුරු අභ්‍යවකාශයේදී ආරක්ෂිත දැයි තහවුරු කරගැනීම මෙහි ප්‍රධාන ඉලක්කයයි. සඳ මත සැබවින්ම පා තැබීම මීළඟට ක්‍රියාත්මක වන ආටෙමිස් IV මෙහෙයුමෙන් සිදු කිරීමට නාසා ආයතනය සැලසුම් කර ඇත.

ඇපලෝ යුගයෙන් පසු මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?

1960 දශකයේ මිනිසා සඳට ගියේ නම්, දැන් නැවත එහි යාමට මෙතරම් වෙහෙසෙන්නේ ඇයිද යන්න තවත් ප්‍රශ්නයකි. ඇපලෝ වැඩසටහන 1972 දී අවසන් වූ පසු, ඒ සඳහා භාවිතා කළ දැවැන්ත ‘සැටර්න් V’ රොකට් සහ යටිතල පහසුකම් පද්ධති අක්‍රිය විය.

අද අප සඳට යන්නේ හුදෙක් ගොස් ඒමට (Flags and footprints) නොව, එහි නැවතී සිටීමට (Sustainable presence) අවශ්‍ය තාක්ෂණය දියුණු කිරීමටයි. එදා තිබූ තාක්ෂණයට වඩා අද ආරක්ෂිත ප්‍රමිතීන් සහ ඉලක්කයන් ඉතා ඉහළ මට්ටමක පවතී.

කලින් ගිය සඳ ගමන් බොරුවක් බවට පවතින මතයන් විද්‍යාත්මකව බැහැර කර ඇත. සඳෙන් ගෙන ආ පාෂාණ, ගගනගාමීන් සඳ මත තබා ආ ලේසර් පරාවර්තක සහ වර්තමාන යානා මගින් ලබාගත් අධි-විභේදන ඡායාරූප මගින් එදා මිනිසා සඳට ගිය බව තහවුරු වී තිබේ.

අතීතයේදී අප ගියේ “තරඟයකට” වුවද, අද අප යන්නේ සඳ මත මානව ජනපදයක් සහ අඟහරු ලෝකය කරා යන ගමනට අවශ්‍ය මාවතක් තැනීමටයි.

විවේචන සහ අභියෝග

මෙම ඓතිහාසික වැදගත්කම හමුවේ වුවද, ආටෙමිස් වැඩසටහන විවේචනයට ද ලක් වේ. ඇමරිකානු ඩොලර් බිලියන ගණනක අතිවිශාල පිරිවැයක් දරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය, පෘථිවියේ පවතින දරිද්‍රතාවය සහ දේශගුණික විපර්යාස වැනි දැවෙන ගැටලු විසඳීමට යොදා නොගැනීම පිළිබඳව බොහෝ පිරිස් ප්‍රශ්න කරති. එසේම, ස්පේස් එක්ස් (SpaceX) වැනි පෞද්ගලික සමාගම් වඩාත් අඩු පිරිවැයකින් අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කරද්දී, SLS වැනි අධික වියදම් සහිත රජයේ ව්‍යාපෘති තවදුරටත් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද විද්වතුන් අතර විවාදයක් පවතී.

කෙසේ වෙතත්, ආටෙමිස් II කණ්ඩායම සඳෙහි අඳුරු පැත්තේ සිට සැතපුම් 4,112ක් සමීපයට ගොස් නව ලෝක වාර්තාවක් තබමින් යළි පෘථිවියට පැමිණෙනු ඇත. එය මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයයි.

Related articles

Recent articles

error: Content is protected !!