28.4 C
Galle

සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි

Published:

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා යමින් සිටි සිසුන් දෙදෙනෙකු අද (02) අලුයම පල්ලේකැලේදී බිහිසුණු රිය අනතුරකට ලක් විය. මෙම අනතුරින් එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, අනෙක් සිසුවා බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අද උදෑසන 6.30 ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසළදී මෙම අනතුර සිදුව ඇත. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ ආරක්ෂක කමිටුව නියෝජනය කළ 13 වන වසරේ සිසුන් දෙදෙනා යතුරුපැදියකින් යමින් සිටියදී, දිගන සිට මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පල්ලේකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය වාර්තා වීමත් සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබූ මහා ක්‍රිකට් තරඟය වහාම අත්හිටුවීමට විදුහල්පතිවරුන් දෙදෙනා තීරණය කළහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. තරඟය නතර කරන අවස්ථාව වන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි විද්‍යාර්ථ විද්‍යාලය කඩුලු 03 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.

අනතුරට ලක් වූ සිසුන් දෙදෙනාම ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුන් වන අතර, ඔවුන් ක්‍රීඩාංගණයට පැමිණෙන සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු ආරක්ෂක කටයුතු සඳහා පෙරවරුවේම ක්‍රීඩාංගණය බලා යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත.

රෝහල් ගත කර සිටින අනෙක් සිසුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. පල්ලේකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!