29.1 C
Galle

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

Published:

ශ්‍රී ලංකා දේශපාලනයේ දශක දෙකකට අධික කාලයක් සක්‍රීය භූමිකාවක් හෙබවූ ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ පියාණන් වන මහින්ද විජේසේකර, 1989 වසරේ සිට 2010 දක්වා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. සිය දේශපාලන ජීවිතය තුළ ඔහු ධීවර ඇතුළු අමාත්‍ය ධූර ගණනාවක්ම හොබවමින් දකුණු පළාතේ මෙන්ම ජාතික දේශපාලනයේ ද සුවිශේෂී සලකුණක් තැබූ නායකයෙකි.

2009 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා අකුරැස්ස, ගොඩපිටිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මහින්ද විජේසේකර බරපතළ තුවාල ලැබීය. එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට ඔහු සමත් වුවද, ඉන් ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මියයන තෙක්ම දීර්ඝ කාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවිය.

අභාවප්‍රාප්ත මහින්ද විජේසේකරගේ දේහය හෙට (03) දහවල් මාතර, කොටුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (04) සවස 4.00 ට මාතර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!