මහනුවර පැවැති වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයක් (Big Match) අතරතුර සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටී.
මෙම ඛේදවාචකය පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කරන අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පරීක්ෂණයෙන් අනතුරුව පාසල් ක්‍රිකට් තරග සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඇතැම් දරුවන් මෙම ක්‍රිකට් තරග අන්ධ භක්තියකින් යුතුව වැළඳ ගැනීම සහ එම කාලසීමාව තුළ ගුරුවරුන්ගේ හෝ දෙමාපියන්ගේ පාලනයෙන් මිදී කටයුතු කිරීමට උත්සාහ කිරීම මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දහවල් කාලයේදී කිසිදු සිසුවෙකුට පාසල් පරිශ්‍රයෙන් බැහැරට යාමට ඉඩ නොතබන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනටමත් උපදෙස් ලබා දී ඇත. කෙසේ වෙතත්, දැනට නියමිත පරිදි පාසල් ක්‍රිකට් තරග සහ නිවාසාන්තර ක්‍රීඩා උත්සව සාමාන්‍ය පරිදි පැවැත්වීමට අවසර හිමිවනු ඇත.
මීට අමතරව, රටේ පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස පාසල් අධ්‍යාපන චාරිකා සහ අධික ලෙස ඉන්ධන වැයවන උත්සව තාවකාලිකව නතර කරන ලෙස ද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.


