ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝග හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර තොග සාර්ථකව කළමනාකරණය කර ගැනීමට රජය සමත්ව ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ පොහොර ටොන් 25,000ක අතිරේක තොගයක් රැගත් නෞකාවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිත බවයි.
යල කන්නය ආරම්භ වන මෙම අවධියේදී ඇතැම් ප්‍රදේශවල ගොවීන් අතර පොහොර පිළිබඳ යම් සැකයක් සහ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණද, දැනටමත් රට තුළ මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාව ඉක්මවා පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. යුරියා පොහොර සම්බන්ධයෙන් යම් සීමිත ගැටලුවක් පැවතිය හැකි වුවත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000ක ප්‍රමාණයට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවමත් තමන්ට නිසි පරිදි පොහොර ලැබී නොමැති බවට චෝදනා නගති. මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති රජය, පවතින පොහොර තොග කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.


