රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය හෙට (06) උදෑසන 8.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය නිවේදනය කරයි. ඊයේ උදෑසන ආරම්භ වූ මෙම වර්ජනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට තීරණය කර ඇත්තේ ඊයේ සවස රැස්වූ හදිසි විධායක සභා රැස්වීමකදීය.
සීමා වාසික පුහුණුව නිමකළ නවක වෛද්‍යවරුන් පශ්චාත් අන්තර් වාසික පත්වීම් සඳහා අයදුම් කිරීමෙන් වළකින ලෙස සංගමය මීට පෙර ඉල්ලා සිටියද, බලධාරීන් එල්ල කළ දැඩි පීඩනය සහ තර්ජන හමුවේ ඔවුන් අයදුම්පත් යොමු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සේවයෙන් ඉවත් කිරීම, වැටුප් අත්හිටුවීම සහ නිල නිවාසවලින් ඉවත් කරන බවට සිදුකළ බියගැන්වීම් හේතුවෙන් මෙම වෛද්‍යවරුන් දැඩි අස්ථාවර භාවයකට පත්ව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙවර සීමා වාසික පුහුණුව නිමකළ වෛද්‍යවරුන් 453 දෙනාගෙන් 435 දෙනෙකුම, එනම් 96%ක ප්‍රතිශතයක් අප්‍රේල් 04 වැනිදා මධ්‍යහ්න 12.00ට පෙර සිය පත්වීම් සඳහා අයදුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙය ස්වේච්ඡාවෙන් සිදුකළ එකඟතාවයක් නොව, බලහත්කාරයෙන් සිදුකරවා ගත් දෙයක් බවයි.
වර්ජනය ක්‍රියාත්මක වුවද මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මානසික සෞඛ්‍ය ආයතන සහ හමුදා රෝහල්වල සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබයි. එසේම සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තහවුරු කරයි.
පවතින මෙම ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් විය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණීමට තමන් තවමත් සූදානම් බවත් සංගමය අවධාරණය කර සිටී.


