පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ අවුරුදු උත්සව සහ ජන ක්‍රීඩාවල නිරත වීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධික උෂ්ණත්වය හේතුවෙන් සිරුරෙන් දහදිය මගින් ජලය සහ ලවණ විශාල වශයෙන් බැහැර වන අතර, එමගින් සිරුරේ ජලය අඩුවීම, මාංශපේෂී පෙරළීම, අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල සහ වමනය වැනි ලක්ෂණ ඇති විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම තත්ත්වය ඇතැම් විට ජීවිත අවදානමක් දක්වා දුරදිග යා හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
විශේෂයෙන්ම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ හිරු එළියට නිරාවරණය වී ක්‍රීඩා කිරීම සහ පුහුණු වැඩසටහන්වල නිරත වීම හැකිතාක් මගහරින ලෙසත්, ඒ සඳහා උදෑසන හෝ සවස කාලය තෝරාගන්නා ලෙසත් සභාපතිවරයා උපදෙස් දෙයි. පාසල් දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් මෙන්ම හෘද රෝග, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
සිරුරේ ජල මට්ටම පවත්වා ගැනීම සඳහා ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර මෙන්ම, ක්‍රීඩා කරන අතරතුර සෑම මිනිත්තු 15-20 කට වරක් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව රොබින් ජෑන්ස් මහතා අවධාරණය කළේය.
යම් හෙයකින් හුස්ම ගැනීමේ අපහසුව, දහදිය දැමීම නතර වීම, ඇවිදීමට අපහසු වීම හෝ සිහි මද ගතිය වැනි බරපතල ලක්ෂණ මතු වුවහොත්, වහාම සියලු ක්‍රියාකාරකම් නවතා විවේක ගත යුතු බවත් අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.


