29.3 C
Galle

ආටෙමිස් ගගනගාමීන් සඳ වටා ගොස් යළි පෘථිවිය බලා එයි

Published:

මිනිස් සංහතිය මෙතෙක් අභ්‍යවකාශයේ ගමන් කළ දුර ප්‍රමාණය පිළිබඳ වාර්තාව අලුත් කරමින්, නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් හතර දෙනා සඳ වටා තම තීරණාත්මක ගමන නිමා කර දැන් යළි පෘථිවිය බලා පැමිණෙමින් සිටිති.

1970 වසරේ ඇපලෝ 13 මෙහෙයුම තැබූ සැතපුම් 248,655ක වාර්තාව බිඳ හෙළමින් මෙම ඔරායන් (Orion) යානය පෘථිවියේ සිට කිලෝමීටර් ලක්ෂ හතරකට වඩා ඈතට ගමන් කර තිබේ.

මෙම සුවිශේෂී මොහොතේදී අදහස් දැක්වූ ගගනගාමී ජෙරමි හැන්සන් කියා සිටියේ, තමන් අද අත්පත් කරගත් මෙම ජයග්‍රහණය අතීතයේ අභ්‍යවකාශ ගවේෂණයට පදනම දැමූ පුරෝගාමීන්ගේ කැපවීමට කරන උපහාරයක් බවයි.

මෙම මෙහෙයුමේ වඩාත් සංවේදී අවස්ථාව සනිටුහන් වූයේ යානය සඳේ අඳුරු පැත්තට (Far side) පිවිසි මොහොතේදීය. මිනිත්තු 40ක කාලයක් පෘථිවිය සමඟ පැවති සියලු සන්නිවේදන සබඳතා ඇනහිටි අතර, එම නිහඬතාවයෙන් පසුව යළිත් පෘථිවිය සමඟ සම්බන්ධ වූ ක්‍රිස්ටිනා කොක් මහත්මිය මහත් සතුටින් ප්‍රකාශ කළේ, “යළිත් පෘථිවියේ හඬ ඇසීම පුදුම සහගතයි” යනුවෙනි.

ඉන් අනතුරුව සඳුගේ මතුපිටට සැතපුම් දහස් ගණනක් ආසන්නයට පැමිණි ගගනගාමීන්, සඳු විසින් සූර්යයා ආවරණය කරමින් ඇති කළ පූර්ණ සූර්ය ග්‍රහණයක් ද අභ්‍යවකාශයේ සිට අත් වින්දහ.

යානයේ සිටි ගගනගාමීන් පෘථිවියට කිසිදා නොපෙනෙන සඳේ ඈත පැත්තෙහි ඇති ගිනිකඳු තැන්නවල් සහ දැවැන්ත ආවාට සියැසින් දුටු පළමු මිනිසුන් බවට පත් විය. ඔවුන් එහිදී විශේෂිත කැමරා මගින් දර්ශන ලබා ගත්තා පමණක් නොව, තම දෑසින් දුටු දේ සිතුවම් කිරීමට සහ ශබ්ද පටිගත කිරීමට ද කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ගගනගාමීන්ට සුබ පතමින් කියා සිටියේ, ඔවුන් අද ඉතිහාසගත වෙමින් සමස්ත ඇමරිකාවම ආඩම්බරයට පත් කළ බවයි.

මෙහිදී ගගනගාමීන් විසින් සඳ මත හඳුනාගත් ආවාට දෙකක් නම් කරන ලෙස ඉල්ලීමක් කළ අතර, එකක් තම යානයේ නම වන ‘ඉන්ටෙග්‍රිටි’ (Integrity) ලෙසත්, අනෙක මෙහෙයුම් අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ මියගිය බිරිඳ සිහිපත් කිරීම සඳහා ‘කැරොල්’ (Carroll) ලෙසත් නම් කිරීමට යෝජනා විය.

නාසා විද්‍යාඥයන් පවසන පරිදි ගගනගාමීන්ගේ ඇසින් දුටු විස්තර කිරීම් තාක්ෂණික ඡායාරූපවලට වඩා වටිනාකමකින් යුක්ත වන්නේ, මිනිස් ඇසට හඳුනාගත හැකි සියුම් වර්ණ සහ ස්තරයන් කැමරාවකට හසු නොවන බැවිනි.

සඳුගේ ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් දැන් පෘථිවිය දෙසට හැරී ඇති ඔරායන් යානය ඉදිරි දින කිහිපය තුළ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතය. පැයට සැතපුම් 25,000ක වේගයෙන් පැමිණෙන යානය පැසිෆික් සාගරයට පතිත වීමට පෙර එහි තාප පලිහ සහ පැරෂුට් පද්ධතිය දැඩි පරීක්ෂාවකට ලක් වනු ඇත.

මෙය 2026 වසරේ අවසානයේ හෝ 2027 වසරේදී මිනිසුන් යළි සඳ මත ගොඩබැස්වීමට සහ අනාගතයේ අඟහරු ග්‍රහයා වෙත යාමට ගන්නා වූ තීරණාත්මක පියවරකි.

Related articles

Recent articles

error: Content is protected !!