ගෝලීය වෙළඳපොළේ රන් මිල ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට රන් මිල අද (08) ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ රන් මිලෙහි මෙම කැපී පෙනෙන වැඩිවීම සිදුව ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.
අද දින වෙළඳපොළේ වාර්තා වූ නවතම රන් මිල ගණන් අනුව:
- කැරට් 24 රන් පවුමක මිල: රුපියල් 405,000.00 කි. (ඊයේ මිල රු. 398,000 ක් ලෙස පැවතිණි)
- කැරට් 22 රන් පවුමක මිල: රුපියල් 372,600.00 කි. (ඊයේ මිල රු. 366,000 ක් ලෙස පැවතිණි)
රන් මිල මෙලෙස ඉහළ යාම ස්වර්ණාභරණ මිල කෙරෙහි ද සෘජුවම බලපා ඇති අතර, රන් පවුමක බරින් යුත් මාලයක මිල රුපියල් 425,000 දක්වාත්, වළල්ලක මිල රුපියල් 435,000 දක්වාත් ඉහළ ගොස් ඇත. ඉදිරි උත්සව සමයේ මංගල අවශ්‍යතා සඳහා භාවිත වන මංගල මුදු මිල ද රුපියල් 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත්, රන් මිල ඉහළ යාමත් සමඟ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ද රන් පවුමක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් මුදල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මෙය හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා රන් භාණ්ඩ උකස් කරන්නන්ට යම් සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෝක දේශපාලන අස්ථාවරත්වය සහ මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් ආයෝජකයින් රත්තරන් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ගෝලීය තෙල් මිල සහ රන් මිල අතර පවතින සම්බන්ධතාවය
ගෝලීය වෙළඳපොළේ තෙල් මිල සහ රන් මිල අතර පවතින්නේ ඉතා සමීප සහ සංකීර්ණ සබඳතාවයකි. සාමාන්‍යයෙන් තෙල් මිල ඉහළ යන විට රන් මිල ද ඉහළ යාමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. මෙම ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන ආකාර ලෙස උද්ධමනය, ඇමරිකානු ඩොලරයේ අගය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ නිහ්පාදන පිරිවැය ඉහල යෑම පෙන්වා දිය හැකියෙ
තෙල් මිල ඉහළ යන විට ප්‍රවාහන ගාස්තු සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යන බැවින් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යයි. මෙය උද්ධමනය ලෙස හැඳින්වේ. උද්ධමනය පවතින විට මුදලේ අගය අඩු වන නිසා, ආයෝජකයින් තම ධනය ආරක්ෂා කර ගැනීමට රත්තරන් මිලදී ගැනීමට යොමු වේ. මෙසේ රත්තරන් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා එහි මිල ඉහළ යයි.
ලෝක වෙළඳපොළේ තෙල් සහ රත්තරන් යන දෙකම මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයෙනි. බොහෝ විට ඩොලරයේ අගය දුර්වල වන විට තෙල් මිල මෙන්ම රන් මිල ද ඉහළ යයි. මේ නිසා තෙල් මිල ඉහළ යන විට එය රන් මිල කෙරෙහි ද සෘජු බලපෑමක් ඇති කරයි.
මැදපෙරදිග වැනි කලාපවල යුදමය තත්ත්වයක් ඇති වූ විට තෙල් සැපයුම අඩාල වී මිල ඉහළ යයි. මෙවැනි අවිනිශ්චිත කාලසීමාවන්හිදී ආයෝජකයින් කොටස් වෙළඳපොළ වැනි අවදානම් සහිත ආයෝජනවලින් ඉවත් වී “ආරක්ෂිත තැන්පතුවක්” (Safe Haven) ලෙස සලකන රත්තරන් කෙරෙහි නැඹුරු වේ.
රත්තරන් පතල්වලින් කැණීම් කිරීම සඳහා විශාල වශයෙන් යන්ත්‍ර සූත්‍ර සහ ඉන්ධන අවශ්‍ය වේ. තෙල් මිල ඉහළ යන විට රත්තරන් නිෂ්පාදන පිරිවැය ද ඉහළ යන අතර, එය රත්තරන්වල අවසාන වෙළඳපොළ මිල ඉහළ යාමට ද දායක වේ.
කෙටියෙන් කිවහොත් තෙල් මිල ඉහළ යාම උද්ධමනයට මග පාදන අතර, එම උද්ධමනයෙන් බේරීම සඳහා මිනිසුන් රත්තරන් මිලදී ගැනීම නිසා රන් මිල ඉහළ යයි.


