ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් වී තිබුණද, ලෙබනනය තුළ ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන ‘සදාකාලික අඳුරේ මෙහෙයුම’ (Operation Eternal Darkness) හේතුවෙන් එරට දැවැන්ත ලේ වැගිරීමක් බවට පත්ව තිබේ. ඊයේ (08) සිට ක්‍රියාත්මක වූ බිහිසුණු ගුවන් ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව අද (09) වන විට 254 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 1,165 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ප්‍රහාරක ජෙට් යානා 50ක් සහ මිසයිල 160කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාර ජනාකීර්ණ සිවිල් ප්‍රදේශ ඉලක්ක කර තිබීම විශේෂත්වයකි. බෙකා නිම්නයේ (Bekaa Valley) පැවැති අවමංගල්‍ය උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර, ටයර් (Tyre) නගරයේ ‘හිරාම්’ රෝහලට ද ඊශ්‍රායල මිසයිල පතිත වී ඇති බව ‘ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස්’ සංවිධානය වාර්තා කරයි. පසුගිය මාර්තු 02 වැනිදා සිට මේ දක්වා ලෙබනනය තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1,739 දක්වා ඉහළ ගොස් ඇත.
ලෙබනනය ද සටන් විරාමයට ඇතුළත් බව ඉරානය අවධාරණය කළද, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. හෙස්බොල්ලා සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායලය පවසද්දී, ඉරානය තර්ජනය කර ඇත්තේ ඊශ්‍රායලය ප්‍රහාර නතර නොකරන්නේ නම් යළිත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවයි.
පවතින යුද වාතාවරණය හමුවේ ලෙබනනයේ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 1.1 ඉක්මවා ගොස් තිබේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් ලිතානි ගඟට දකුණින් පිහිටි සියලු පාලම් විනාශ කර ඇති බැවින්, එම ප්‍රදේශවල කොටු වී සිටින ලක්ෂයකට අධික සිවිල් වැසියන්ට ආහාර සහ ඖෂධ ලබාදීම අතිශය දුෂ්කර වී ඇත.
ප්‍රහාර හමුවේ නිහඬ නොවන බව පවසමින් හෙස්බොල්ලා සංවිධානය අද (09) උදෑසන උතුරු ඊශ්‍රායලයේ ‘අවිවිම්’ ප්‍රදේශයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. සටන් විරාමයට අවස්ථාවක් ලබා දීමට තමන් සූදානම් වුවද, ඊශ්‍රායලය සිය ආක්‍රමණය නතර නොකරන්නේ නම් තීරණාත්මක ප්‍රතිප්‍රහාර එල්ල කරන බව එම සංවිධානය අනතුරු අඟවා සිටියි.
ලෙබනනයේ මෙම යුද උණුසුම හේතුවෙන් ලෝක තෙල් මිල සහ රන් මිල යළිත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති අතර, ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට ද මෙහි සෘජු බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


