වවුලන් හරහා ද මී උණ රෝග කාරක බැක්ටීරියාව ව්‍යාප්ත වන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය එක්ව මෙම පර්ෂෙණය සිදු කර ඇති අතර මෙම තොරතුරු පර්යේෂණ පත්‍රිකාවක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කර ඇත.
මෙම පර්යේෂණය මොණරාගල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද ප්‍රදේශයේ “වවුල්ගල්ගේ” ගුහාව ආශ්‍රිතව සිදු කර ඇති අතර, වවුල් විශේෂ හතරකින් ලබාගත් මුත්‍රා සාම්පල 148ක් එහිදී පරීක්ෂාවට ලක්කර ඇත. එලෙස පරීක්ෂා කළ සාම්පල 16කම මී උණ රෝග කාරකය හඳුනාගැනීමට හැකිවූ බව පර්යේෂකයෝ පවසති.
විශේෂයෙන් “දිගු පියාපත් සහිත වවුලන්” ලෙස හඳුන්වන Miniopterus fuliginosus විශේෂයෙන් මෙම බැක්ටීරියාව වැඩි වශයෙන් හමුවී ඇත. මෙම වවුලන්ට වැඩි දුර ප්‍රමාණයක් පියෑඹීමට ඇති හැකියාව නිසා, රෝගය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
තවත් වැදගත් කරුණක් වන්නේ, වවුලන්ගෙන් හමුවූ බැක්ටීරියා ප්‍රභේදයක් මිනිසුන්ගෙන් මීට පෙර හඳුනාගත් ප්‍රභේද සමඟ සමාන වීමයි. මෙය මිනිසාට මෙම රෝගය පැතිරීමේ හැකියාවක් ඇති බවට ඉඟි කරයි.
විශේෂයෙන් වවුල් ගුහා ආශ්‍රිතව වවුල් පොහොර (Guano) එකතු කරන ගොවීන් සහ එම ප්‍රදේශවල ජලය භාවිත කරන ජනතාව වැඩි අවදානමකට ලක්විය හැකි බවට පර්යේෂකයෝ සඳහන් කරති . ආසාදිත මුත්‍රා මිශ්‍ර වූ ජලය හෝ පස සමඟ ස්පර්ශ වීමෙන් රෝගය ශරීරයට ඇතුළු විය හැකි බැවින්, එවැනි ස්ථානවල වැඩ කරන විට ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය.
කෙසේ වෙතත්, විද්‍යාඥයන් අවධාරණය කරන්නේ වවුලන් විනාශ කිරීම මෙයට විසඳුම නොවන බවයි. පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීමට වවුලන් ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඒ වෙනුවට, මිනිසා, සතුන් සහ පරිසරය එක්කර සෞඛ්‍ය ආරක්ෂාව සලසන ප්‍රවේශයක් වඩාත් වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.
මෙතෙක් කල් මීයන් පමණක් මෙම රෝගයේ ප්‍රධාන වාහකයන් ලෙස සැලකූ ශ්‍රී ලංකාවේ මී උණ මර්දන වැඩපිළිවෙළට මෙය තීරණාත්මක හැරවුමක් වනු ඇත. එසේම වසරකට දහස් ගණනක් රෝගීන් පීඩාවට පත් කරන මෙම රෝගය පිළිබඳ අප සතු වූ අවබෝධය පුළුල් කිරීමට මෙම සොයාගැනීම වැදගත්අතර අනාගතයේ රෝග පාලනය සඳහා නව මඟ පෙන්වීමක් ලබාදෙන බවට විශ්වාස කෙරේ.
පර්යේෂණ කණ්ඩායම: තේජනී පෙරේරා, ෆ්‍රැන්සිස්කා ෂ්වාස්, තෙරේසා මුසෙනීක්, සහන් සිරිවර්ධන, බෙයාටේ බෙකර්-සියාජා, ඉනෝකා පෙරේරා, ශිරෝමා හඳුන්නෙත්ති, ජගත්ප්‍රිය වීරසේන, ගයානී ප්‍රේමවංශ, සුනිල් ප්‍රේමවංශ, විපුල යාපා, ක්ලෝඩියා කෝල්, ඇන්ඩ්‍රියාස් නිට්ෂේ


