ලොව ප්‍රමුඛතම අතිසුඛෝපභෝගී සංචාරක නෞකාවක් වන ‘සිල්වර් ඩෝන්’ (Silver Dawn) නෞකාව සංචාරකයින් 596 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 411 දෙනෙකු සමඟ අද (09) උදෑසන ගාල්ල වරායට ළඟා විය. සාමාජිකයින් 1007 දෙනෙකුගෙන් සමන්විත මෙම නෞකාව, “The Curious and the Sea” නමින් හැඳින්වෙන දින 141ක දැවැන්ත ලෝක සංචාරයක (World Cruise) නිරතව සිටියදී මෙරටට පැමිණ තිබේ.
අද උදෑසන සිට ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම්ලා තිබූ මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් පිරිසක් ගාල්ල ඓතිහාසික කොටු පවුර, බලපිටිය මාඳු ගඟ, උණවටුන, රූමස්සල සහ කොග්ගල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. ඔවුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සහ ආරක්ෂක වැඩපිළිවෙළක් සංචාරක බලධාරීන් විසින් සූදානම් කර ඇත.
දිගින් මීටර 213ක් වන මෙම දැවැන්ත නෞකාව අතිසුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි තට්ටු 11කින් සමන්විතය. පසුගිය 07 වැනිදා ත්‍රිකුණාමල වරාය වෙත පැමිණි මෙම නෞකාව, අද සවස් වනතුරු ගාල්ලේ නැංගුරම්ලා සිට හෙට (10) උදෑසන කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව ඇත. කොළඹ වරායේදී තවත් විශේෂ සංචාරක වැඩසටහන් කිහිපයකට එක්වන මොවුන් එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් සමුගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ‘සිල්වර් ඩෝන්’ නෞකාව සිය ලෝක සංචාරයේ මීළඟ අදියර සඳහා බටහිර දෙසට යාත්‍රා කරන අතර, ඒ යටතේ ඉන්දියාවේ කොචින් (Cochin) සහ මුම්බායි (Mumbai) වරායන් වෙත ළඟා වීමට නියමිතය.
ඉන් අනතුරුව ඕමානයේ මස්කට් සහ සලාලා නගර හරහා රතු මුහුදට ඇතුළු වී සවුදි අරාබියේ ජෙඩා වරාය වෙත යාත්‍රා කරන නෞකාව අප්‍රේල් මස අග භාගයේදී ඊජිප්තුවේ සාෆගා (Safaga) වරාය වෙත ගොස්, ලොව සුප්‍රසිද්ධ සූවස් ඇළ හරහා මධ්‍යධරණී මුහුදට ඇතුළු වේ.
මැයි මාසය තුළ ඉතාලිය, ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් රැසක සංචාරය කරමින් මෙම 141 දිනක චාරිකාව මැයි මස අගදී පෘතුගාලයේ ලිස්බන් නුවරින් අවසන් වීමට නියමිතය.
මෙම නෞකාව අතිසුඛෝපභෝගී ‘Butler Service’ පහසුකම් සහ ලොව ඉහළම ගණයේ අවන්හල් 8කින් සමන්විත වේ. මෙවැනි අතිසුඛෝපභෝගී නෞකා පැමිණීම මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට සහ විදේශ විනිමය වැඩිකර ගැනීමට මහත් පිටුවහලක් වේ.
තොරතුරු සහ ඡායාරූප – ෆර්හාන් නිසාම්දීන්


