33.3 C
Galle

මුස්වැන්න තේ කම්හලෙන් මිලියන පහකට වැඩි ඉතුරුම් මුදල්

Published:

ගාල්ල, ඉමදුව වල්පල ප්‍රදේශයේ පිහිටි මුස්වැන්න තේ කම්හල වෙත තේ දළු සපයනු ලබන අටසීයකට අධික වගාකරුවන් පිරිසක් වෙත රුපියල් මිලියන පහකට අධික ඉතුරුම් මුදල් ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය.

මෙම ඉතුරුම් මුදල් සමන්විත වන්නේ 2025 පෙබරවාරි මස සිට 2026 මාර්තු දක්වා වගාකරුවන්ගේ දළු මුදලින් ඉතිරි කරන ලද කොටසක් සහ ඒ සඳහා කම්හල මගින් ලබාදුන් දායක මුදලකිනි. මාර්තු මාසයට අදාළ දළු මුදල් සමඟ මෙම ඉතුරුම් ප්‍රසාද දීමනාවන් ද වගාකරුවන් වෙත ලබාදීමට කම්හල් පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.

දික්කුඹුර, මාවැල්ල, මාගෙදර, මායාකඩුව, පොල්පාගොඩ සහ කම්හල අවට ප්‍රදේශවල වගාකරුවන් රැසක් මෙම ප්‍රතිලාභය ලැබූ අතර, දැනට පවතින දීර්ඝ නියං සමය හමුවේ පීඩාවට පත්ව සිටින ගොවීන්ට මෙය විශාල අස්වැසිල්ලක් වී තිබේ.

මුදල් ප්‍රදානය කිරීමට අමතරව, පවතින නියං කාලගුණය තුළ තේ වගාව සුරක්ෂිත කරගන්නා ආකාරය පිළිබඳව වගාකරුවන් දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් ද එදිනම කම්හල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ඉන්දික මොහොට්ටි, සී.අයි.සී පොහොර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් වීරසේකර සහ ව්‍යාප්ති නිලධාරී රෝහන දීගොඩ යන මහත්වරුන් සහභාගී වඋ අතර එහිදී වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන්හ.

මුස්වැන්න තේ කම්හලේ අධිපති ආර්.ජී. ජිනදාස මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යක්ෂ මලිත් සුභසිංහ මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. තේ කර්මාන්තය මුහුණ දී ඇති අසීරු අවස්ථාවක, වගාකරුවන් දිරිගන්වමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් මගින් ලැබෙන දායකත්වය අගය කළ යුතුය.

Related articles

Recent articles

error: Content is protected !!