33.3 C
Galle

සඳ වටා ගිය චාරිකාව සාර්ථකව නිමා වෙයි, ගගනගාමීන් නිරුපද්‍රිතව පැසිෆික් සාගරයට

Published:

වසර පනහකට පසු නැවතත් සඳ වටා ගිය මිනිසුන් රැගෙන ගිය ඓතිහාසික ගමන සාර්ථකව අවසන් විය. NASA ආයතනයේ ආටෙමිස් දෙවන මෙහෙයුමේ අභ්‍යවකාශගාමීන් සිව්දෙනා, දින දහයකට ආසන්න ගමනක් නිම කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද (අප්‍රේල් 11) අලුයම පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත විය.

1972දී සිදු වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු සඳ ආසන්නයට මිනිසුන් ගිය ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය අභ්‍යවකාශ ඉතිහාසයේ වැදගත් මංසන්ධියක් ලෙස සැලකේ.

මෙම ගමනේ අවසාන මොහොතවල් විශේෂයෙන්ම අවදානම් සහ තාක්ෂණික ලෙස සංකීර්ණ වූ අදියරක් විය. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5.23ට ඔරියන් යානය පෘථිවි වායුගෝලයට ප්‍රථම ස්පර්ශය කළේය. එම මොහොත “Atmospheric Interface” ලෙස හැඳින්වෙන අතර, යානය අතිවිශාල වේගයකින් පෘථිවිය වෙත පිවිසෙන අවස්ථාවයි.

එම අවස්ථාවේ යානය පැයට සැතපුම් 25,000කට ආසන්න වේගයකින් ගමන් කරමින් තිබූ අතර, පිටත උෂ්ණත්වය අංශක 3000 දක්වා ඉහළ ගියේය. මෙම රුදුරු තාපය හේතුවෙන් අලුයම 5.23 සිට මිනිත්තු 6ක කාලයක් සන්නිවේදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින “අඳුරු මොහොතක්” ද වාර්තා විය.

ඉන් අනතුරුව යානයේ වේගය පාලනය කිරීම සඳහා අලුයම 5.33ට ‘ඩ්‍රොග්’ පැරෂුට් විවෘත විය. ඒ මගින් යානය ස්ථාවර කරමින් ගමනේ අවසන් අදියර සූදානම් කෙරුණි. අලුයම 5.34ට ප්‍රධාන පැරෂුට් තුන විවෘත වූ අතර, එය යානය ආරක්ෂිතව පහළට ගෙන ඒම සඳහා තීරණාත්මක මොහොතක් විය.

අවසන් වශයෙන්, ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5.37ට ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත විය. මෙම සාර්ථක අවසන් වීමත් සමඟ, මානව අභ්‍යවකාශ ගවේෂණයේ නව අදියරක් සනිටුහන් විය.

මෙම ගමන අභ්‍යවකාශ විද්‍යාත්මක ජයග්‍රහණයක් පමණක් නොව, මානව විවිධත්වය නියෝජනය කළ ගමනක් ලෙසද ඉතිහාසයට එක්විය. වික්ටර් ග්ලෝවර් සඳ වටා ගිය ප්‍රථම කළු ජාතිකයා ලෙසත්, ක්‍රිස්ටිනා කොක් සඳ වටා ගිය ප්‍රථම කාන්තාව ලෙසත්, ජෙරමි හැන්සන් සඳ ආසන්නයට ගිය ප්‍රථම ඇමෙරිකානු නොවන අභ්‍යවකාශගාමියා ලෙසත් වාර්තා බිඳ දැමීය.

සඳ ආසන්නයෙන් පෘථිවිය නරඹන අවස්ථාව ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් විය. විශ්වයේ අතරමං වූ නීල ගෝලයක් ලෙස පෙනෙන පෘථිවිය, රැකගත යුතු වටිනාම ස්ථානයක් බව ඔවුන් අවධාරණය කළහ.

මෙම මෙහෙයුමේ සාර්ථකත්වය අනාගතයේ සඳ මත නැවත මිනිසෙකු පා තැබීමට මඟ පාදන තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. ඉදිරි මෙහෙයුම් සඳහා මෙය මූලික පදනමක් වන අතර, මානවයා නැවත සඳ වෙත යාම දැන් දුරස්ථ සිහිනයක් නොවන බවට මෙම ගමන ප්‍රබල සාක්ෂියක් වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!