33.3 C
Galle

සිවිල් අවකාශය සහ මානව හිමිකම් සුරැකීමට දකුණේ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් එක්වෙයි

Published:

ශ්‍රී ලංකාවේ සිවිල් අවකාශය ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් වෙනුවෙන් ශක්තිමත් හඬක් ගොඩනැගීමේ අරමුණින් තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) සංවිධානය කළ දෙදින නේවාසික ධාරිතා සංවර්ධන වැඩමුළුවක් පසුගියදා මාතර දී පැවැත්විණ. Vriddhi ආයතනයේ සහයෝගීතාවයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සිවිල් සමාජ නියෝජිතයින්, මාධ්‍යවේදීන් සහ කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු 25 දෙනෙකු සහභාගී වූහ.

සිවිල් සමාජය සහ මාධ්‍ය අතර නව සබඳතාවක්

වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් CEYSD ආයතනයේ විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා සඳහන් කළේ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් එක්ව පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මත මෙම උද්දේශන වැඩසටහන නිර්මාණය කළ බවයි.

2014 වසරේ ආරම්භ වී 2020 වසරේ ලියාපදිංචි කළ තම සංවිධානය, මේ වන විට සිවිල් ක්‍රියාකාරීන්, පළාත් පාලන ආයතන සහ සමත මණ්ඩල සමඟ එක්ව ප්‍රජා සංවර්ධන කටයුතු රැසක නිරත වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රායෝගික දැනුම සහ නීතිමය අවබෝධය

මෙම වැඩමුළුවේ සම්පත් දායකයා ලෙස කටයුතු කළ නීතීඥ අසාද් මුස්තෆා මහතා විසින් මූලික අයිතිවාසිකම්, උපායමාර්ගික උද්දේශනය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී. සිවිල් සමාජයට එල්ල වන බාධාවන් සහ තර්ජන හමුවේ නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

“අපි මැච් එකක් දිනුවම සෙලිබ්‍රේට් කරනවා (සමරනවා), ඒත් නඩුවක් දිනුවම සෙලිබ්‍රේට් කරන්නේ නෑ,” යනුවෙන් නීතීඥ අසාද් මුස්තෆා මහතා මෙහිදී අපූරු අදහසක් ඉදිරිපත් කළේය.

යුක්තිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලයේ ජයග්‍රහණ සැමරීමේ වැදගත්කම ඔහු ඒ හරහා පෙන්වා දුන්නේය. උද්දේශන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ගත වුවද, එමඟින් සමාජ ගැටලු සඳහා සාර්ථක සහ ස්ථිරසාර පිළියම් ලබාගත හැකි බව ඔහු අවධාරණය කළේය.

ගමේ ප්‍රශ්නයට විසඳුම් සොයන ප්‍රායෝගික පුහුණුව

වැඩසටහනේ දෙවන දිනය වෙන්වූයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහාය. එහිදී දකුණු පළාතේ ගම්මානවල පවතින සැබෑ ගැටලු හඳුනාගෙන, ඒවා විසඳීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව කණ්ඩායම් වැඩසටහන් පවත්වන ලදී. සහභාගිවන්නන් විසින්ම උද්දේශන මැදිහත්වීම් (Advocacy Interventions) නිර්මාණය කළ අතර, ඒ පිළිබඳව ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක පැවතිණි.

සිවිල් අවකාශය ආරක්ෂා කර ගැනීම උදෙසා සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සතු වගකීම මෙන්ම, ඔවුන් සතු අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට මෙම වැඩමුළුව සමත් විය.

Related articles

Recent articles

error: Content is protected !!