ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනය තුළ අයිතිකරු නොමැතිව තිබූ රබර් පාවහන් යුගලක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට රෝහල් පොලිසිය සමත්ව තිබේ.
ඊයේ (10) දින මේ සමුබන්දව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව රෝහල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සූක්ෂම ලෙස සැඟවූ මත්ද්‍රව්‍ය
රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම පාවහන් යුගල පරීක්ෂා කිරීමේදී එහි අඩිය සූක්ෂම ලෙස කපා ඒ තුළ මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් අසුරා තිබෙනු නිරීක්ෂණය වී තිබේ. පාවහන් තුළ තිබී අයිස් මිලිග්‍රෑම් 1700ක්, හෙරොයින් මිලිග්‍රෑම් 1620ක්, හෑෂ් මිලිග්‍රෑම් 690ක්, දුම්කොළ මිලිග්‍රෑම් 2110ක් හමුවී තිබෙනවා.
බන්ධනාගාර රැඳවියෙකු වෙත ලබාදීමේ උත්සාහයක්?
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ දින ප්‍රතිකාර සඳහා මෙම දන්ත සායනය වෙත රැගෙන ආ බවයි. එම රැඳවියා වෙත ලබාදීම සඳහා පිටතින් පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගල එහි දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ගාල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර, රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද නියමිතය.
රෝහලක් වැනි පොදු ස්ථානයක් මෙවැනි ජාවාරම් සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.


