27.1 C
Galle

ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි

Published:

ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනවල තීරණාත්මක පියවරක් ලෙස, කොළඹ පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal Company) ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ආරම්භ කර ඇති පුළුල් විමර්ශනවලට අදාළ ලිපි ලේඛන සහ සාක්ෂි සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් දෙදෙනෙකු මේ සඳහා යොදවා තිබේ. මෙම නිලධාරීන් විසින් කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව පැය 24 පුරාම අධීක්ෂණය කරනු ලබයි.

2009 වසරේ සිට මේ දක්වා සිදු වූ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය විමර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී සහ විගණන වාර්තා මගින් අනාවරණය වූ කරුණු මත පදනම්ව, අදාළ ලිපි ලේඛන අස්ථානගත වීම වැළැක්වීම සඳහා මෙම මුද්‍රා තැබීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

විමර්ශනවලදී ආයතන “මුද්‍රා තැබීම” යනු කුමක්ද?

යම් ආයතනයක වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන විට, එම ස්ථානය “මුද්‍රා තැබීම” ලෙස අපට පෙනෙන අවස්ථා තිබේ. මෙය නීතියට අනුකූලද කියන ප්‍රශ්නය බොහෝ දෙනාට ඇතිවෙයි.

ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයට (Code of Criminal Procedure Act No. 15 of 1979) අනුව, පොලීසියට ස්ථානයක් පරීක්ෂා කිරීමට, සාක්ෂි භාරයට ගැනීමට සහ ඒවා ආරක්ෂා කිරීමට බලතල තිබේ. “මුද්‍රා තැබීම” කියන වචනය නීතියේ සෘජුව නොතිබුණත්, සාක්ෂි ආරක්ෂා කිරීම සඳහා ස්ථානයක් පාලනයට ගැනීම මේ බලතල යටතේ සිදු කරයි.

සාමාන්‍යයෙන් මෙවැනි පියවරක් ගන්නා විට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා අතර, හදිසි අවස්ථාවක වරෙන්තුවක් නැතිවද ක්‍රියා කළ හැකි නමුත් පසුව අධිකරණයට වාර්තා කළ යුතුය.

මෙහිදී දොර ජනෙල් වසා, පොලිස් ලේබල් යොදා, බාහිර පුද්ගලයන්ට ඇතුළු වීම නවතා දමන අතර, පොලිස් ආරක්ෂාවද යොදනු ලැබේ. ඉන්පසු අදාළ ලිපි ලේඛන සහ උපකරණ භාරයට ගන්නා විට, ඒවා පිළිබඳ ලැයිස්තුවක් සකස් කර පිටපතක් ආයතනයට ලබා දීමද අනිවාර්ය වේ.

විමර්ශනය අවසන් වූ පසු, අධිකරණ නියෝගයක් මත එම ස්ථානය නැවත විවෘත කරනු ලැබේ.

ඒ අනුව, “මුද්‍රා තැබීම” කියන්නේ නීතියේ නාමයක් නොවුණත්, විමර්ශන බලතල යටතේ සිදු කරන නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ලෙස සලකන්න පුළුවන්.

Related articles

Recent articles

error: Content is protected !!