මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්ථානයේදී පැවැති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ගේ මැදිහත් වීම මත පැය 21ක් පුරා පැවැති මෙම සාකච්ඡා සාර්ථක නොවූ බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) තහවුරු කළේය.
සාකච්ඡා අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනාධිපති වෑන්ස් සඳහන් කළේ, ඇමරිකාව ඉදිරිපත් කළ කොන්දේසි පිළිගැනීමට ඉරානය අකමැති වූ බවයි. විශේෂයෙන්ම න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවට ඉරානයෙන් “මූලික කැපවීමක්” (Fundamental commitment) ඇමරිකාව අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සාකච්ඡා ඉතා දැඩි ස්වභාවයක් ගත් බවයි. වොෂින්ටනය විසින් ඉදිරිපත් කරන “අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්වලින්” බැහැර විය යුතු බව ඉරානය මෙහිදී පෙන්වා දී තිබේ.
සාකච්ඡා අතරතුර අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවලින් එකඟතාවයකට පැමිණියත් නැතත් තමන්ට එය ගැටලුවක් නොවන බවයි. “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි,” යනුවෙන් ඔහු දැඩි ප්‍රකාශයක් සිදු කළේය.
මේ අතර, ඉරානයට එරෙහි තම මෙහෙයුම තවමත් අවසන් වී නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ලෙබනනය සමඟ “පවතින ආකාරයේ” සාම ගිවිසුමක් තමන් අපේක්ෂා කරන බව පවසන ඔහු, හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන බව ද අවධාරණය කළේය.
මෙම සාකච්ඡා අසාර්ථක වීම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වීමට හේතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.


