28.7 C
Galle

අව වරප්‍රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව

Published:

සමාජයේ ආන්තික සහ අව වරප්‍රසාදිත කණ්ඩායම් මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින්, ඔවුන් සම්බන්ධව වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වඩාත් සංවේදී විය යුතු ආකාරය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ලේදී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ මානව සොබා සම්පත් සංවර්ධන පදනම විසිනි.

වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් එම පදනමේ වැඩසටහන් කළමනාකාර තුෂාර සේනානායක මහතා සඳහන් කළේ, තම සංවිධානය සැමවිටම පෙනී සිටින්නේ අව වරප්‍රසාදිත ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් බවයි. විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්, විපතට පත්වූවන්, මුදලට ලිංගික සේවා සපයන කාන්තාවන්, වතුකරයේ කාන්තාවන් සහ LGBTIQ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමට සහාය වීම තම අරමුණ බව ඔහු පැවසීය.

“මෙම කණ්ඩායම්වල ආර්ථික මට්ටම අවම වීම, අධ්‍යාපන අවස්ථා අහිමි වීම සහ සමාජය තුළ ඔවුන්ට ඇති බලය අඩු වීම හේතුවෙන් ඔවුන් දිගින් දිගටම වරප්‍රසාද නොලබන තත්ත්වයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන ඒවා විසඳීමට සහාය වීම මෙන්ම, මාධ්‍ය මගින් ඔවුන්ව සමාජගත කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම අපේ ප්‍රධාන බලාපොරොත්තුවක්,” යැයි සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහි සම්පත් දායකයා ලෙස සහභාගී වූ ප්‍රවීණ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යවේදියාගේ භූමිකාව සහ ආචාරශීලී මාධ්‍ය භාවිතය පිළිබඳ හරවත් දේශනයක් පැවැත්වීය.

ඔහු අවධාරණය කළේ සත්‍යය, නිරවද්‍යතාව සහ සාධාරණත්වය මාධ්‍ය කලාවේ “හදවත” බඳු මූලිකාංග බවයි. යම් පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender Identity) ඔවුන්ගේ කැමැත්තකින් තොරව ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නොවන බවත්, විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පිළිබඳ වාර්තාකරණයේදී ඔවුන් හඳුන්වන සර්ව නාම භාවිතය (Pronouns) පිළිබඳව අතිශයින්ම පරෙස්සම් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

“යම් සිදුවීමකට පුද්ගලයෙකුගේ ලිංගිකත්වය සෘජුව අදාළ නොවේ නම්, එය අනවශ්‍ය ලෙස ඉස්මතු කිරීමෙන් වැළකී සිටීමට මාධ්‍යවේදීන් වගබලා ගත යුතුයි,” යනුවෙන් හෙට්ටිආරච්චි මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!