ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අද සිට දැඩි නාවික අවහිරතාවක් (Blockade) පැනවීමට නියමිත බව නිවේදනය කිරීමත් සමඟ ගෝලීය දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවෙන් ඔබ්බට ඉහළ ගොස් ඇත.
පසුගිය සති අන්තයේ පාකිස්ථානයේදී ඇමරිකාව සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම මෙම තීරණයට සෘජුවම බලපා තිබේ. ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට අකමැති වීම නිසා සාකච්ඡා අසාර්ථක වූ බව ට්‍රම්ප් පවසන අතර, ඉරානය පවසන්නේ ඇමරිකාව දිගින් දිගටම කොන්දේසි වෙනස් කිරීම නිසා විසඳුමකට එළඹීමට නොහැකි වූ බවයි.
ට්‍රම්ප්ගේ නව නියෝගය අනුව සඳුදා පෙරවරු 10:00 (ET) සිට ඉරාන වරායන් වෙත ඇතුළු වන සහ ඉන් පිටවන සියලුම නෞකා අවහිර කිරීමට ඇමරිකානු මධ්‍යම අණසක (Centcom) බලකාය කටයුතු කරනු ඇත. කෙසේ වෙතත්, ඉරානයට අයත් නොවන අනෙකුත් රටවල නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොවන බව ඇමරිකාව පවසා ඇතත්, කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ නාවික ගමනාගමනය දැඩි අවදානමකට ලක්ව තිබේ.
ඇමරිකාවේ මෙම පියවර මුහුදු කොල්ලකෑමක් ලෙස හඳුන්වන ඉරානය, ඕනෑම ප්‍රහාරයකට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවයි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත පැමිණෙන ඕනෑම සතුරු යුද නෞකාවකට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවයි.
“කලාපයේ වරායන්හි ආරක්ෂාව එක්කෝ සැමටම විය යුතුයි, නැතිනම් කිසිවෙකුටත් නොවිය යුතුයි,” යනුවෙන් ඉරාන හමුදාව පවසන අතර, ඉරාන වරායන් ඉලක්ක වුවහොත් පර්සියානු ගල්ෆ් කලාපයේ කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.
ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තීරණය ඇමරිකාවට ද දැඩි අවදානමක් ගෙන දෙන්නක් බවයි.
විශේෂයෙන්ම ඉරානයෙන් තෙල් ලබා ගන්නා චීනය වැනි ප්‍රබල රටවල් මෙයට දක්වන ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්නත්, විදේශීය ධජ යටතේ ගමන් කරන නෞකා අවහිර කිරීමට ඇමරිකාව බලය පාවිච්චි කරන්නේද යන්නත් බරපතළ ගැටලුවකි. එසේම තෙල් මිල තවදුරටත් ඉහළ යාම ලෝක ආර්ථිකයට එල්ල කරන බලපෑම පිළිබඳවද ප්‍රශ්න රැසක් පැන නැගී ඇත.
ආරක්ෂක විශ්ලේෂක ජස්ටින් ක්‍රම්ප් පවසන පරිදි, දෙපාර්ශවයම අනෙක් පාර්ශවය මෙල්ල කිරීමට දරන මෙම උත්සාහය පවතින යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට හේතු වී තිබේ.


