27.2 C
Galle

තම ලෙයින් උපන් දරුවන් හත්දෙනකු ඝාතනය කළ පියා

Published:

පියෙකු තම දරුවන්ට ආරක්ෂකයෙකු විය යුතු වුවද, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝර්ට් (Shreveport) නගරයෙන් වාර්ථාවූයේ පිය සෙනෙහසට නිගා දෙන අතිශය බිහිසුණු පුවතකි. ඒ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් තම ලෙයින් උපන් දරුවන් හත් දෙනෙකු සහ තවත් දරුවෙකු අමු අමුවේ වෙඩි තබා ඝාතනය කළ පියෙකු පිළිබඳවයි.

ඉරිදා අළුයම 5:00ට පමණ නගරයම නිදා සිටියදී මෙම සමූහ වෙඩි තැබීම ආරම්භ වී තිබේ. ෂමාර් එල්කින්ස් (Shamar Elkins) නමැති සැකකාර පියා, තම බිරිඳ සහ දරුවන් සිටි නිවසට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

වයස අවුරුදු 3 සිට 11 දක්වා වූ කුඩා දරුවන් අට දෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත් වූහ. මියගිය දරුවන් අතර සහෝදර සහෝදරියන් මෙන්ම එක් ඥාති දරුවකු ද විය. ජේලා (3), ෂේලා (5), කයිලා (6), ලයිලා (7), මාර්කයිඩන් (10), සාරියා (11), කෙඩාරියන් (6) සහ බ්‍රේලන් (5) යන එලෙස ඝාතනයට ලක්වූ දරුවන්ය.

මෙම ප්‍රහාරයෙන් බේරීමට එක් දරුවෙකු නිවසේ වහලයෙන් බිමට පැන ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගතකර ඇත. තවත් දරුවෙකු අසල නිවසකට දිව ගොස් බේරී ඇතැයි වාර්තා වේ. දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.

ප්‍රහාරයෙන් පසු සොරකම් කරන ලද රථයකින් සැකකරු පළාගොස් ඇති නමුත් ඔහු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ද මියගොස් ඇත.

සැකකරුගේ සහෝදරයා පවසන පරිදි, එල්කින්ස් සිය බිරිඳගෙන් වෙන්වීමේ පීඩනයෙන් පසුවී ඇත. ඔහුගේ බිරිඳ දික්කසාදය ඉල්ලා සිටීමත් සමඟ ඔහු “සිහි විකල් වූවෙකු මෙන්” හැසිරුණු බව පවුලේ සාමාජිකයෝ පවසති. මෙම යුවළ සඳුදා දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී මෙම සමූල ඝාතනය සිදුවී ඇත.අ

ශ්‍රීව්පෝර්ට් නගරාධිපති ටොම් ආර්සෙනෝ පවසන්නේ මෙය එම නගර ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය බවයි. “ජනතාව, පොලිස් නිලධාරීන්, මරණ පරීක්ෂකවරුන් ඇතුළු මුළු මහත් ප්‍රජාවම මෙයින් දැඩි ලෙස කම්පනයට පත්ව සිටිනවා,” යැයි ඔහු සඳහන් කළේය.

නගරයේ සිදුවන අපරාධවලින් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් පවුල් ආරවුල් (Domestic Disturbance) හා සම්බන්ධ ඒවා බවත්, මෙවැනි තනි සිදුවීමකින් නගරයේ සමස්ත මිනීමැරුම් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් බලධාරීන් පෙන්වා දෙයි.

මෙම සිදුවීම 2024 ජනවාරි මාසයෙන් පසු ඇමරිකාවේ වාර්තා වූ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස සටහන් වේ. ජීවිතය බෙදාගත යුතු සමීපතමයන්ම මාරක සතුරන් වන මෙවැනි සමාජයීය වටපිටාවක, පවුල් ආරවුල් සහ මානසික සෞඛ්‍යය පිළිබඳව යළි යළිත් කතිකාවතක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙම ඛේදවාචකය අපට පසක් කර දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!