31.1 C
Galle

පෘථිවිය දෙස ආදරයෙන් බලන්න ඉගැන්වූ ඩේවිඩ් ඇට්න්බොරොව්ට අවුරුදු 100යි

Published:

ලෝකයේ බොහෝ දෙනෙකුට වනාන්තර, සාගර, හිම කඳු, වනජීවීන් සහ පෘථිවියේ අපූරු ජීවිතය පළමුවෙන්ම හඳුනාගන්නට ලැබුණේ රූපවාහිනී තිරයක් හරහාය. ඒ තිරය මතින් මෘදු, ගැඹුරු, විශ්වාසදායක හඬකින් සොබාදහමේ කතාන්දර කියාදුන් මිනිසා වූ David Attenborough අද (08) සිය සියවැනි උපන්දිනය සමරයි.

මෙම බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යා වාර්තාකරු සහ වාර්තා වැඩසටහන් නිෂ්පාදකයා අද වන විට ලෝකයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ පාරිසරික හඬක් බවට පත්ව සිටී. වසර හැත්තෑවකට අධික කාලයක් පුරා ඔහු සකස් කළ වැඩසටහන් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව නරඹා ඇති අතර, සොබාදහම පිළිබඳ මිනිසුන්ගේ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමට ඔහු පෘථිවි වාසීන්ට දැවැන්ත බලපෑමක් සිදුකර තිබේ.

1926 මැයි 8 වැනිදා London හි උපත ලැබූ ඇටන්බරෝ කුඩා කාලයේ සිටම පෘථිවියේ ජීවීන් කෙරෙහි දැඩි ආශාවක් දැක්වූ දරුවෙකි. ඔහු කුඩා අවධියේදී පුරාවස්තු, කෘමීන් සහ මුහුදු ජීවීන්ගේ ඇටකටු එකතු කරමින් කාලය ගත කළේය.

“Zoo Quest”

පසුව ඔහු BBC ආයතනය සමඟ එක්ව “Zoo Quest” නම් වැඩසටහන ඉදිරිපත් කිරීමෙන් ලොව පුරා ජනප්‍රිය විය. Zoo Quest යනු ඩේවිඩ් ලොවට හඳුන්වා දුන් මුල්ම ජනප්‍රිය ස්වභාව විද්‍යා වැඩසටහන් මාලාවයි. 1954 වසරේදී BBC මගින් ආරම්භ කළ මෙම වැඩසටහනේදී ඇටන්බරෝ අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ආසියාව සහ දූපත් ප්‍රදේශ රැසකට සංචාරය කරමින් අතිදුර්ලභ වනජීවීන් සොයා ගියේය. එම කාලයේ රූපවාහිනී වැඩසටහන් සඳහා මෙවැනි දුරස්ථ වනාන්තර සහ වනජීවී ජීවිතය සජීවීව රූගත කිරීම අලුත්ම අත්දැකීමක් වූ අතර, ලෝකයේ බොහෝ දෙනා පළමු වරට වනයේ සතුන්ගේ ස්වභාවික ජීවිතය දැකගත්තේ මෙම වැඩසටහන හරහාය. Zoo Quest වැඩසටහන පසුව ස්වභාව විද්‍යා වාර්තාකරණයේ නව යුගයක් ආරම්භ කළ නිර්මාණයක් ලෙස සැලකේ.

පෘථිවිය මත ජීවය “Life on Earth”

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ විශාලම සන්ධිස්ථානය බවට පත්වූයේ 1979දී විකාශය වූ “Life on Earth” වැඩසටහනයි. පෘථිවියේ ජීවය ආරම්භ වූ අයුරු සිට මිනිසා දක්වා වූ පරිණාමය විස්තර කළ එම වැඩසටහන ලොව පුරා අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.

Life on Earth යනු ඩේවිඩ් ලෝක ප්‍රසිද්ධියට පත් කළ විශිෂ්ටතම ස්වභාව විද්‍යා වැඩසටහනයි. 1979දී විකාශය වූ මෙම වැඩසටහන පෘථිවියේ ජීවය ආරම්භ වූ අවස්ථාවේ සිට මිනිසා දක්වා වූ පරිණාමය සරල සහ ආකර්ෂණීය ආකාරයෙන් විස්තර කළේය. වසර තුනකට ආසන්න කාලයක් ලොව පුරා රටවල් රැසක රූගත කළ මෙම වැඩසටහනේදී ඇටන්බරෝ සතුන්ගේ ස්වභාවික හැසිරීම් අතිශය සමීපව ලෝකයට පෙන්වා දුන්නේය. විශේෂයෙන් කඳුකර ගෝරිල්ලා පැටවුන් ඔහු වටා සෙල්ලම් කරන දර්ශන රූපවාහිනී ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවක් ලෙස සැලකේ.

ඇටන්බරෝගේ විශේෂත්වය වූයේ සරල කතාවකින් පවා විශාල හැඟීමක් ජනනය කිරීමට තිබූ හැකියාවයි. කඳුකර ගෝරිල්ලා පැටවුන් සමඟ ඔහුගේ ආදරණීය හමුවීම්, සාගරයේ මිනීමරු තල්මසුන්ගේ දඩයම් ක්‍රම, හිම කඳු මත දිවි ගෙවන සතුන්ගේ අරගල සහ වඳවී යන ජීවීන්ගේ කතාන්දර මිනිසුන්ගේ හදවත්වලට ගැඹුරින්ම කතා කළේය.

නිල් ග්‍රහලෝකය “Blue Planet II”

විශේෂයෙන්ම “Blue Planet II” වැඩසටහන ලෝකයම කම්පාවට පත් කළ නිර්මාණයක් බවට පත්විය. මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සතුන් විඳින වේදනාව එම වැඩසටහන හරහා පෙන්වා දීමෙන් පසු බොහෝ රටවල් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නීතිමය පියවර ගත්හ.

මෙය ඩේවිඩ් විසින් ඉදිරිපත් කළ ලෝකප්‍රසිද්ධ සාගර ජීවී වාර්තා වැඩසටහනකි. 2017දී විකාශය වූ මෙම වැඩසටහන මුහුදු පතුලේ අද්භූත ජීවීන්, ගැඹුරු සාගර පද්ධති සහ සාගරයේ ජීවිතයේ සුන්දරත්වය ලෝකයට පෙන්වා දුන් අතර, ප්ලාස්ටික් දූෂණය නිසා මුහුදු සතුන් විඳින වේදනාව පිළිබඳවද ප්‍රබල අවධානයක් යොමු කළේය. විශේෂයෙන් ප්ලාස්ටික් කැබලි තම පැටවුන්ට ආහාර ලෙස ලබාදෙන පක්ෂීන් සහ අපද්‍රව්‍යවලින් පිරුණු සාගර දර්ශන ලෝක ජනතාව කම්පාවට පත් කළ අතර, එම වැඩසටහනෙන් පසු බොහෝ රටවල් තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණි.

පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිකයෙක්

ඔහු වාර්තාකරුවෙක් පමණක් නොව පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළේය. දේශගුණික විපර්යාස, වන විනාශය, මුහුදු දූෂණය සහ ජීව විවිධත්වය අහිමිවීම පිළිබඳව ලෝකයට අනතුරු ඇඟවීමට ඔහු දිගින් දිගටම කටයුතු කළේය.

“අපි දන්නා පෘථිවිය විනාශ වෙමින් තිබියදී මම නිහඬව සිටියේ නම්, මගේ මුණුබුරන්ගේ දෑස් දෙස බලන්නේ කොහොමද?” යන ඔහුගේ ප්‍රකාශය ලෝකයම කම්පනයට පත් කළ ප්‍රබල පණිවිඩයක් විය.

සොබාදහමේ කතා කියන සරල මිනිසා

වසර 100ක් වුවද David Attenborough තවමත් නව වැඩසටහන් නිර්මාණයට සක්‍රීයව දායක වෙයි. ඔහුගේ ජීවිතය පුරා කළ සේවාව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ “ජාතික වස්තුවක්” ලෙස බොහෝ දෙනා ඔහු හඳුන්වති.

නමුත් ඇටන්බරෝ තමන්ව දකින්නේ සරල ලෙස “සොබාදහමේ කතා කියන මිනිසෙකු” ලෙසයි.

ඔහුගේ හඬ හරහා ලෝකය සතුන් දෙස බැලූ ආකාරය වෙනස් විය. වනාන්තරයක් යනු ගස් පමණක් නොවන බවත්, සාගරයක් යනු ජලය පමණක් නොවන බවත්, පෘථිවිය යනු අප සැමගේම එකම නිවස බවත් ලෝකයට මතක් කරදුන්නේ ඔහුය.

Related articles

error: Content is protected !!