27.2 C
Galle

සැබෑ දක්ෂතාවයට බාධක නොමැත යන්න ඔප්පු කළ රත්මලානේ පැසිපන්දු වීරයෝ

Published:

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ක්ෂේත්‍රයේ අමතක නොවන ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගනිමින් රත්මලාන බිහිරි විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු කණ්ඩායම සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ Division D – Tier 2 ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු තරගයෙන්ම ජයග්‍රහණය වාර්තා කළ රත්මලාන බිහිරි විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාල කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමි කරගත්තේය.

තරගය අවසන් වූ මොහොත එහි සිටි සැමගේ සිත් සංවේදී කළ අමතක නොවන අවස්ථාවක් විය. විනිසුරුවන් අවසන් ශබ්දය නිකුත් කළ ද, ශ්‍රවණාබාධිත ක්‍රීඩකයන්ට එය ඇසී නොගියේය. එහෙත් තත්පර කිහිපයකින් පුහුණුකරු සතුටින් ඔවුන් වෙත හැරී සංඥා භාෂාවෙන් “අපි ජයගත්තා” යැයි දැනුම් දුන් මොහොතත් සමඟ ක්‍රීඩාංගණයම හැඟීම්බර විය.

ඉන් අනතුරුව ක්‍රීඩකයන් එකිනෙකා වැළඳ ගනිමින් සතුට සමරනු දැකීමට හැකි වූ අතර, ඔවුන්ගේ ඇස්වල තිබුණේ අභියෝග ජයගත් ජයග්‍රහණයක ආඩම්බරයයි. තරගාවලිය පුරාම ඔවුන් දැක්වූ කණ්ඩායම් හැඟීම, විනය, කැපවීම සහ සටන්කාමීත්වය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය.

මෙම ජයග්‍රහණය රත්මලාන බිහිරි විද්‍යාලයට පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවටම ආදර්ශයක් වන සිදුවීමක් ලෙස සැලකේ. “සැබෑ දක්ෂතාවයට බාධක නොමැත” යන්න යළිත් ඔප්පු කරමින්, අධිෂ්ඨානය සහ මහන්සිය මඟින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව මෙම දරුවන් ලොවට පෙන්වා දී තිබේ.

තරගාවලිය මොරටුවේ Ballers Hub ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!