32.3 C
Galle

ප්‍රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ගාල්ල කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්තශාලාව රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ඉදිකර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. අවශ්‍ය වලංගුකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතය.

Premium International Injectable (Pvt) Ltd. ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්තශාලාවේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (17) එහි සංචාරයක නිරත විය.

ඉන්සියුලින්වලට අමතරව නිර්වින්දන ඖෂධ, වේදනානාශක සහ වෙනත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ද ආයතනය සැලසුම් කර තිබේ. ඉදිරියේදී නිෂ්පාදනය කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 33ක් දක්වා පුළුල් කිරීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ යටතේ වසර 15ක ඖෂධ සැපයුම් ගිවිසුමක් ද ඇති කරගෙන තිබේ.

ඖෂධ ආනයනය අවම කිරීම රජයේ ඉලක්කයක්

මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධවලින් සියයට 85ත් 90ත් අතර ප්‍රමාණයක් ආනයනය කරන බවත්, දේශීය නිෂ්පාදනයෙන් සපුරාලනු ලබන්නේ සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කිරීම, දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම වැඩි කිරීම ඉදිරි දශකයේ රජයේ ප්‍රමුඛ අරමුණු අතර වන බව ද ඔහු පැවසීය.

දැනට රෝහල්වල ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 96ක පමණ ප්‍රමාණයක් සපුරාලීමට හැකි වී ඇති නමුත්, ඖෂධ වර්ග 37ක් සඳහා සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඉදිරිපත් නොවීම හේතුවෙන් සැපයුම් ගැටලු පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රධාන වශයෙන් ඉන්දියානු සමාගම් හතරකින් ආනයනය කරනු ලබයි. මෙරට තුළම ඉන්සියුලින් නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ වෙළෙඳපොළටත් ඖෂධ සැපයීමේ සැලසුම්

දේශීය ඖෂධ අවශ්‍යතා සපුරාලීමෙන් පසු නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට ද ආයතනය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා මාලදිවයිනට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, ටිමෝර්-ලෙස්ටේ ඇතුළු තවත් රටවල් කිහිපයකින් ද ඖෂධ ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය පුළුල් කිරීමෙන් රටේ ඖෂධ සැපයුම ශක්තිමත් කිරීම මෙන්ම විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ නව අපනයන ආදායම් මාර්ග ඇති කිරීම ද රජයේ අපේක්ෂාව වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!