27.8 C
Galle

දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!

Published:

ශ්‍රී ලාංකීය වනජීවී ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ, මෙරට වනාන්තරවල ජීවත් වූ විශාලතම සහ උසම වනගත දළ ඇතෙකු ලෙස සැලකූ ‘කාවන්තිස්ස’ හස්ති රාජයා පසුගිය ඔක්තෝබර් 16 වනදා සන්ධ්‍යාවේ මෙලොවින් සදහටම සමුගත්තේය. වයස අවුරුදු 45 ත් 50 ත් අතර පසුවූ, ගල්ගමුව සහ වයඹ වනජීවී කලාපය තම අණසකට නතුකරගෙන සිටි මේ මහා පෞරුෂය, අවසානයේ මිනිස් ක්‍රෑරත්වය හමුවේ පරාජය වී සියඹලන්ගමුව ප්‍රදේශයේ කුඹුරු යායක ඇද වැටී අවසන් හුස්ම හෙළුවේ මුළු මහත් සොබාදහමටම නොමැකෙන කඳුළක් ඉතිරි කරමිනි.

මෙරට වනගත ඇතුන් අතළොස්ස අතරින් කැපී පෙනුණු, සමාජ මාධ්‍ය හරහා ද අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි මේ ජාතික සම්පත අහිමි වීම සමස්ත ලාංකීය පරිසරලෝලීන් දැඩි සෝකයකට පත් කිරීමට හේතු විය.

මෙම ජාතික ඛේදවාචකයට මූලිකම හේතුව වූයේ මීට සති කිහිපයකට පෙර ඇතාගේ ඉදිරි දකුණු පාදයට එල්ල වූ දරුණු වෙඩි ප්‍රහාරයකි. වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් සැප්තැම්බර් 24 වනදා සිට දිවා රාත්‍රී නොබලා ඇතා බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරූ අතර, තායිලන්තයේ පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහය පවා මේ සඳහා ලබා ගැනීමට කටයුතු කර තිබුණි. ප්‍රතිකාර හමුවේ තුවාලය යම්තාක්දුරට සුව වෙමින් පැවතිය ද, දින කිහිපයක් ඇතුළත ඇතා සම්පූර්ණයෙන්ම ආහාර සහ ජලය ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ශරීරය අභ්‍යන්තරයෙන් අතිශය දුර්වල වී විජලන තත්ත්වයට පත්ව ඇත.

ඇතාගේ මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ විශේෂඥ කණ්ඩායමක් වෙත සිරුර යොමු කර ඇත. වයඹ කලාපයේ වන ඇතුන් ඉලක්ක කරගනිමින් සිදුවන මෙවැනි ම්ලේච්ඡ වෙඩි තැබීම් පිටුපස කිසියම් සංවිධානාත්මක දඩයම් කල්ලියක් සිටින්නේද යන්න සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පුළුල් විමර්ශනයක් ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

කාවන්තිස්ස හස්තියාගේ මරණයත් සමඟ මෙරට වනජීවී ක්‍රියාකාරීන් සහ පරිසරවේදීන් බලධාරීන්ට එරෙහිව දැඩි විවේචන එල්ල කරමින් සිටිති. ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ කාවන්තිස්ස වැනි සුවිශේෂී ඇතුන් ආරක්ෂා කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබූ වැඩපිළිවෙළෙහි පවතින දුර්වලතා මේ හරහා නිරාවරණය වන බවයි. වන ඇතුන්ගේ හැසිරීම් සහ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණික කරපටි (GPS Collars) පැළඳවීමට තිබූ හැකියාව මඟහැරීම පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරති.

මේ පිළිබඳව අදහස් දක්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පවසන්නේ, වයසින් මුහුකුරා ගිය වන ඇතුන්ට (මනුෂ්‍ය ජීවිතයකින් ගත්කල වයස අවුරුදු 80ක පමණ වන සතෙකුට) මෙවැනි කරපටි පැළඳවීම සඳහා නිර්වින්දනය කිරීම අතිශය අවදානම් සහගත ක්‍රියාවක් වන බැවින්, එය ප්‍රායෝගිකව සිදුකිරීමේදී ගැටලු රැසක් මතු වූ බවයි. කෙසේ වෙතත්, පරිසරවේදීන් අවධාරණය කරන්නේ හුදෙක් එක් ඇතෙකු ආරක්ෂා කිරීමට වඩා, මෙරට සමස්ත අලි ගහනයම දඩයම්කරුවන්ගෙන් සහ අනවසර මිනිස් ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සමස්ත ව්‍යුහයම වහාම යාවත්කාලීන විය යුතු බවයි.

කාවන්තිස්ස, දල පූට්ටුවා, භරණ හෝ තනි අලියා වැනි සද්දන්තයන් මියගිය සෑම අවස්ථාවකදීම අප සමාජයක් ලෙස දැඩි සේ කම්පාවට පත්වෙමු, සමාජ මාධ්‍ය පුරා ශෝකී පණිවිඩ හා ඡායාරූප හුවමාරු කරගනිමු. නමුත් අප සංවේදී වූ පමණින් හෝ කඳුළු සැලූ පමණින් වනාන්තර තුළ සිදුවන ම්ලේච්ඡ ඝාතන කිසිසේත්ම නතර වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සමස්ත වන අලි ගහනයෙන් දළ ඇතුන් ඉතිරිව සිටින්නේ සියයට දෙකක් වැනි අතිශය අවම සහ අවාසනාවන්ත ප්‍රතිශතයකි. කාවන්තිස්ස වැනි ජානමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති දැවැන්තයන් එකින් එකා අපට අහිමි වෙද්දී, අප ගමන් කරමින් සිටින්නේ අතිශය බියකරු ගමනකි. අද අප නිසි පියවර නොගතහොත්, තව දශක කිහිපයකින් මතු පරම්පරාවට ලංකාවේ අභිමානවත් දළ ඇතුන් දැකගත හැක්කේ ඉතිහාස පොත්පත්වල පින්තූරවලින් සහ යූටියුබ් වීඩියෝවලින් පමණක් වන තිත්ත යථාර්ථයට අපට මුහුණ දීමට සිදුවනු ඇත. එබැවින් අනුකම්පාවෙන් සහ සංවේදීතාවයෙන් පමණක් නතර නොවී, වන සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගතු යුතුව ඇත. ප්‍රතිපත්තිමය සහ ජාතික මට්ටමේ නීතිමය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමෙන් යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලැබෙනු ඇතැයි බොහෝ පරිසර වේදීහු අවධාරනය කර ඇත.

මෙම විනාශයෙන් රට මුදා ගැනීමට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි වනජීවී නීති රීති සංශෝධනය කරමින්, සතුන් ඝාතනය කරන සහ වෙඩි තබන පුද්ගලයන්ට ලබාදෙන දඬුවම් හා දඩ මුදල් වහාම ඉහළ නැංවිය යුතුය. දේශපාලන තරාතිරම හෝ ධනය නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අලි ඇතුන් සාම්ප්‍රදායිකව සංක්‍රමණය වන වනාන්තර කලාප සහ අලිමංකඩවල්, දේශපාලන අනුග්‍රහය මත නොයෙකුත් ව්‍යාපෘති හෝ වගාවන් සඳහා අත්පත් කර ගැනීම වහාම තහනම් කළ යුතුය.

සාම්ප්‍රදායිකව අසාර්ථක වී ඇති අලි වැටවල් වෙනුවට, වනජීවී විද්‍යාඥයන්ගේ උපදෙස් මත සාර්ථක ප්‍රජා මූලික විදුලි වැටවල් සහ තාක්ෂණික මුල් අනතුරු ඇඟවීමේ පද්ධති (Smart early warning systems) යොදාගත යුතු අතර, වනජීවී නිලධාරීන්ට නවීන මෙවලම් හා ගුවන් නිරීක්ෂණ ඩ්‍රෝන තාක්ෂණය ලබා දෙමින් ක්ෂේත්‍ර රාජකාරි ශක්තිමත් කළ යුතුය.

කාවන්තිස්ස ඇතාගේ මරණය අපට දෙන අවසන් අනතුරු ඇඟවීම වන අතර, අප තවදුරටත් නිද්‍රාශීලීව බලා සිටියහොත්, සොබාදහම විසින් අපට කිසිදා සමාවක් නොදෙනු ඇත.

අමල්ෂි ගමගේ

Related articles

spot_img
error: Content is protected !!