දශක හයකට පෙර ලෝකයේ ප්රදේශ කිහිපයකට පමණක් බලපෑ තාප තරංග, අද වන විට මුළු මහත් පෘථිවියම පාහේ වැළඳගනිමින් දිගින් දිගටම පවතින දැවැන්ත කාලගුණික සංසිද්ධි බවට පත්වෙමින් තිබේ. රොයිටර්ස් පුවත් සේවය කළ විශේෂ විමර්ශනයකින් මේ බව අනාවරණය කර ඇති අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ තාප තරංගවල ස්වභාවයම වේගයෙන් වෙනස් වෙමින් පවතින බව එම විමර්ශනය පෙන්වා දෙයි.
මේ නව තත්ත්වය හැඳින්වීමට රොයිටර්ස් විසින් ‘තාප කුණාටු’ (Heat Storms) යන සංකල්පය හඳුන්වා දී ඇත. සාමාන්ය තාප තරංගයකට වඩා විශාල භූමි ප්රදේශයක් ආවරණය කරමින්, දීර්ඝ කාලයක් පවතින අධික උෂ්ණත්ව තත්ත්වයන් මෙම නමින් හැඳින්වේ.
රොයිටර්ස් විමර්ශනයට අනුව, 1960 දශකයේ විශාලතම තාප තරංගය දින 46ක් පුරා පැවති අතර එම කාලය තුළ පෘථිවියේ මතුපිටින් සියයට 6කට ආසන්න ප්රදේශයකට පමණක් බලපෑවේය. එහෙත් මෙම දශකයේ මෙතෙක් වාර්තා වූ විශාලතම තාප කුණාටුව දින 367ක් පුරා පැවතී, පෘථිවියේ මතුපිටින් සියයට 85කට ආසන්න ප්රදේශයක් ආවරණය කර තිබේ.
වසරකට තාප කුණාටු 102ක්
රොයිටර්ස් විමර්ශකයන් 1960 වසරේ සිට ලෝකයේ මිලියනයකට අධික භූගෝලීය කොටස්වල පැයකට වරක් වාර්තා වූ උෂ්ණත්ව දත්ත විශ්ලේෂණය කර ඇත. තාප තරංගයක් යනු යම් ප්රදේශයක සාමාන්යයට වඩා ඉහළ උෂ්ණත්වයක් අඛණ්ඩව දින පහක් හෝ ඊට වැඩි කාලයක් පැවතීම ලෙස මෙහිදී අර්ථ දක්වා ඇත. එවැනි තරංගයක් යම් අවස්ථාවක පෘථිවියේ මතුපිටින් අවම වශයෙන් සියයට එකක් ආවරණය කළහොත් එය තාප කුණාටුවක් ලෙස නම් කර තිබේ.
එහිදී 1960 දශකයේ වසරකට සාමාන්යයෙන් තාප කුණාටු පහක් පමණක් ක්රියාකාරීව පැවති බව හඳුනාගෙන ඇත. එහෙත් මෙම දශකයේදී එම සාමාන්යය වසරකට 102ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිනිස් ජීවිතවලට සහ පරිසරයට දැඩි බලපෑම්
තාප කුණාටුවල බලපෑම අධික උෂ්ණත්වයකට පමණක් සීමා නොවේ. ඒවා නියඟ, ලැව්ගිනි, ජල හිඟය, ආහාර නිෂ්පාදනය පහළ වැටීම සහ මිනිස් මරණ වැනි බරපතළ ප්රතිවිපාක රැසකට හේතු විය හැකි බව විමර්ශනය පෙන්වා දෙයි.
2023 සහ 2024 වසරවල පැවති දීර්ඝතම තාප කුණාටුවේ බලපෑම ලෝකයේ විවිධ ප්රදේශවලින් වාර්තා වී තිබේ. පිලිපීනයේ ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.1ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, ප්රමාණවත් වායු සමීකරණ පහසුකම් නොමැති පාසල්වල දරුවන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය.

එමෙන්ම, ඇමෙරිකාවේ ලුසියානා ප්රාන්තයේ දැඩි උණුසුම සහ නියඟය ලැව්ගිනි අවදානම තීව්ර කිරීමට දායක වී තිබේ. මධ්යධරණී කලාපයේ පැවති දැඩි උෂ්ණත්වය සහ ඒ ආශ්රිත කාලගුණික තත්ත්වයන් ග්රීසියේ ලැව්ගිනි හා ලිබියාවේ දරුණු ගංවතුර වැනි ව්යසන සමඟ ද සම්බන්ධ වී ඇත.
සෞදි අරාබියේ මක්කම පැවති හජ් වන්දනාව අතරතුර ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, වන්දනාකරුවන් 1,300කට වැඩි පිරිසක් මියගිය බව වාර්තාව සඳහන් කරයි. මෙවැනි සිදුවීම් එකිනෙකට දුරස්ථ රටවල සිදුවුවද, ඒවාට බලපෑ දේශගුණික තත්ත්වයන් අතර සම්බන්ධතා පැවතිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
දේශගුණික විපර්යාසවල තවත් අනතුරු ඇඟවීමක්
තාප තරංගයක් යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් රටින් රටට වෙනස් නිර්වචන පවතින බැවින්, ලෝකය පුරා එවැනි සිදුවීම්වල වැඩිවීම නිවැරදිව සංසන්දනය කිරීම මෙතෙක් අභියෝගයක් වී තිබේ. එක් රටක අසාමාන්ය ලෙස සැලකෙන උෂ්ණත්වයක් තවත් රටක සාමාන්ය තත්ත්වයක් විය හැකිය. එබැවින්, දේශගුණික දත්ත විශ්ලේෂණය කරමින් තාප තරංගවල කාලසීමාව සහ භූගෝලීය ව්යාප්තිය අනුව ඒවා වර්ගීකරණය කිරීම වැදගත් පියවරක් බව රොයිටර්ස් පෙන්වා දෙයි. එමඟින් තාප කුණාටුවල ව්යාප්තිය, ඒවායේ බලපෑම් සහ අවදානම් පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

දේශගුණික විපර්යාස පිළිබඳ යේල් විශ්වවිද්යාලයේ සන්නිවේදන වැඩසටහනේ අධ්යක්ෂ ඇන්තනි ලයිසෙරොවිට්ස් පවසන්නේ මෙවැනි සංසිද්ධිවලට නම් ලබාදීමෙන් ජනතාවට ඒවායේ බරපතළකම අවබෝධ කරගැනීමට පහසු වන බවයි. තාපය හේතුවෙන් වසරකට ලොව පුරා ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි වන බවට ඇස්තමේන්තු පවතින පසුබිමක, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ අවදානම් හඳුනාගැනීම වඩාත් වැදගත් වේ.
තාප කුණාටු යනු හුදෙක් උණුසුම් කාලගුණයක් නොව, මිනිස් සෞඛ්යය, ආහාර සහ ජල සුරක්ෂිතතාව, ආර්ථිකය සහ පරිසරය එකවර අභියෝගයට ලක් කළ හැකි ගෝලීය අවදානමකි. ඒවායේ ව්යාප්තිය සහ තීව්රතාව පිළිබඳ අවබෝධය වර්ධනය කරගැනීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්ය අනතුරු ඇඟවීම්, සූදානම සහ ප්රතිපත්ති සකස් කිරීමේදී තීරණාත්මක වනු ඇත.
මූලාශ්රය: රොයිටර්ස් විශේෂ විමර්ශනය — The Age of Heat Storms



