හික්කඩුව නගර සභාව මගින් එකතු කරනු ලබන කසළ බෑගයක් සඳහා ගාස්තුවක් අය කිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළ කිරීමත් සමඟ ඊයේ (21) පැවැති නගර සභා රැස්වීම දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබේ. එහිදී විරෝධය පළ කළ මන්ත්රීවරයකු විසින් නගර සභා සභාපතිවරයා අසුන්ගෙන සිටි මුලසුන දෙසට කළු පැහැති කසළ බෑගයක් විසි කර ඇති බව වාර්තා වේ.
මෙම ගාස්තු යෝජනාවට විරෝධය පළ කරමින් පිරිසක් පළමුව නගර සභා ගොඩනැගිල්ලෙන් පිටත කළු පැහැති කසළ බෑග් සහ විරෝධතා පුවරු රැගෙන විරෝධතාවක නිරත වී ඇත. කසළ බෑගයක් සඳහා රුපියල් 200ක් අය කිරීමට යෝජනා වී ඇතැයි විපක්ෂ මන්ත්රීවරු විරෝධතාවයේදී සඳහන්කර තිබේ.
අනතුරුව සභා ගර්භය තුළදී මන්ත්රීවරුන් සහ සභාපතිවරයා අතර උණුසුම් වාද විවාද හටගෙන තිබේ. එම උණුසුම් වාද විවාද අතරතුර මන්ත්රීවරයකු විසින් සභාපතිවරයා දෙසට කසළ බෑගය විසි කර ඇති අතර, ඉන් අනතුරුව සභා ගර්භය තුළ මන්ත්රීවරුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව මන්ත්රීවරුන් යළි අසුන්ගෙන සභා කටයුතු ඉදිරියට පවත්වාගෙන ගොස් ඇත.
හික්කඩුව නගර සභාවේ බලය පවතින්නේ ජාතික ජන බලවේගය සතුව වන අතර එහි වත්මන් සභාපතිවරයා වන්නේ නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතායි.



