28.6 C
Galle

කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි

Published:

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන්ට, නිවසක ඇඳක මෙට්ටය යට සඟවා තිබූ ලිපි 2,078ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙම ලිපි වසර හයකට වැඩි කාලයක් තිස්සේ අදාළ පුද්ගලයන්ට බෙදා නොහැර සඟවාගෙන සිටි බවට තැපැල් සේවකයකුට චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

හල්දුම්මුල්ල, සොරගුණේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි තැපැල් සේවකයකු නීතිවිරෝධී මත්පැන් වන කසිප්පු අලෙවි කරන බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (20) පස්වරුවේ හරංකහව, සොරගුණේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇත. එහිදී නිවසේ කාමරයක තිබූ ඇඳක මෙට්ටය ඔසවා පරීක්ෂා කිරීමේදී ලිපි තොගය සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, සොයාගත් ලිපි අතර සාමාන්‍ය ලිපි 2,065ක් සහ ලියාපදිංචි ලිපි 13ක් තිබී ඇත. එම ලිපි විවිධ පුද්ගලයන්ගේ නම්වලට යොමු කර තිබූ ඒවා බව ද වාර්තා වේ.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ හල්දුම්මුල්ල, සොරගුණේ සහ හරංකහව ප්‍රදේශවල ජනතාවට බෙදාහැරීම සඳහා තැපැල් කාර්යාලයෙන් තමා වෙත භාරදුන් ලිපි මෙලෙස නිවසේ සඟවාගෙන සිටි බවයි.

එම ලිපි වසර හයකට වැඩි කාලයක් තිස්සේ බෙදාහැර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ලිපි අතර රාජ්‍ය ආයතනවලින් යොමු කළ වැදගත් ලිපි ලේඛන, අධිකරණ මඟින් නිකුත් කළ නිල ලේඛන සහ නොතීසි, රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි මෙන්ම මහජනතාවට අදාළ නිවේදන ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.‍ෙ

බණ්ඩාරවෙල කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී (II) උදය කුමාර මහතාගේ උපදෙස් මත, හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!