ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.
ඔහු මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ය. මෙම නඩුව පසුගිය 12 වැනි දා අධිකරණය හමුවේ කැඳවා තිබිණි.
නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර අපහාස කළේ යැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා ගාල්ලල මූලස්ථාන පොලිසියට දෙසැම්බර් 23 වැනි දා පැමිණිල්ලක් කර තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස බලකරමින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු එක් දින සංකේත වැඩ වර්ජනයක් කළ අතර දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේගේ ප්‍රධානත්වයෙන් පැවැති සාක්චඡාවේ දී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියා සිටියේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අදාළ වෛද්‍යවරයාගෙන් ලිඛිතව සමාව ගත යුතු බවයි. නමුත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පමණක් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය. ඉන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එම නගර සභාවෙන් ඉවත්කර වෙනත් පරිශ්‍රයක ස්ථාපිත කර ඇතත් ඊට අවශ්‍ය පහසුකම් සපයා නැති බවට වෛද්‍ය නිලධාරීන් චෝදනා කරන බව ද පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේ මේ හේතුවෙන් වෛද්‍ය නිලධාරීන් 11 වැනි දා සිට වැඩ වර්ජනයකට සූදාසම්ව සිටිය ද අධිකරණයට කරුණු දක්වන බවට වූ එකඟතාව මත එම වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ හැකි වූ වයි.
ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු පොලිස් නිධාරීන් පිරිසක් අධිකරණයට කරුණු වාර්තා කළ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒ.පී.ජී.සරත්චන්ද්‍ර හා නීතිඥ එස්.එම්.එම්.නිලාම් පෙනී සිටියහ.
වැඩිදුර වාර්තා කැඳවීම අප්‍රේල් මස 20 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කළේය.
(ඩී.ජී.සුගතපාල)


