26.3 C
Galle

සවුත්ලන්ඩ්ස් සිසුවියක් ආසාදිත වෙයි

Published:

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිසුවියක කෙරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුවියගේ වැඩිමහල් සොහොයුරා රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඔවුන්ගේ පවුලේ ඥාතියකු ආසාදනය වී ඇති බව දැනගැනීමත් සමඟ එම පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබිණි.

රිච්මන්ඩ් සිසුවා නිරෝධායනයට යොමුවීමට පෙර පාසලට ගොස් තිබූ බැවින් ඔහුගේ පන්තිකාමර ද විෂබීජහරණය කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ ඊයේ (13) කීවේය. ආසාදිත සිසුවියගේ පියා වෛද්‍යවරයකු වන අතර මව හෙදියකි.  

කොළඹ සිට පැමිණි ඥාතියා එම නිවසේ පැය කිහිපයක් රැඳී නිවැසියන් සමඟ ආහාර ගෙන ඇති බව ද අනාවරණය වී තිබිණි. ඒ හේතුවෙන් පවුලේ සියලු දෙනාම නිරෝධායනයට යොමු කර පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව පැහැදිලි වී ඇත්තේ කොරෝනා ආසාදනය වී තිබෙන්නේ එම පවුලේ දියණියට පමණක් බවයි. රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවාට වයිරසය ආසාදනය වී නැත.

බො‍පේ පෝද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත පවුලේ සියලු දෙනා තවදුරටත් නිරෝධායනයට යොමුකර සිටින අතර ඔවුන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ තව දින 12කින් සිදුකිරීමට නියමිතය.

මෙම සිසුවිය පසුගිය දිනවල පාසලට පැමිණියේ ද යන්න පිළිබඳ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් විමසූ විට කියා සිටියේ ඇය ඉගෙනුම ලබන පන්තිවල සිසුවියන් පාසලට පැමිණියේ ඊයේ (13) දින පමණක් බවයි. ඒ වනවිටත් සිසුවිය නිරෝධායනයට යොමුකර තිබූ බැවින් ඇය පාසලට ගොස් නොමැත.

Related articles

Recent articles

error: Content is protected !!