ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් කිහිපක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් කෙරිණි.
ආරක්ෂාව, බලශක්තිය, ඩිජිටල්කරණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට අදාළව මෙම ගිවිසුම් අත්සන් කරන ලදීදේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවෙන් පසුවය. ඉන් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගන්නා ලදී.
මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය.
ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකරන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙමින් සිදුකරන ලදී.
එමෙන් ම ආගමික ස්ථාන 5,000ක වහළ මත සවිකරන ලද සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමට ද නායකයන් දෙපළ ඔන්ලයින් ක්‍රමයෙන් ම එක්වූහ.
ඉන් පසු ඒ ආකාරයෙන් ම දඹුල්ලේ පිහිටි ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද විවෘත කෙරිණි.
විදෙස් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ කීවේය.
“විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා. මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදිට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා. අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා. දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්වික සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.