ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට අද (20) මියගොස් සිටි පුද්ගලයා හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ඊයේ (19) රාත්‍රියේ ගාල්ල ජාතික රෝහලේ බාහිර ප්‍රථිකාර ඒකකයේ වැසිකිලියේ වැටී සිට ඇති මොහු හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කර ඇත. එම අවස්ථාවේ ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති අතර රෝහලට ඇතුළුවීමේ දී තම නම “වසන්ත” යනුවෙන් පවසා ඇත. පදිංචි ස්ථානයක් විමසා සිටිය ද ඔහු ඒ බව පවසා තිබුණේ නැත. අනතුරට පත් රෝගියාට ප්‍රතිකාර කිරීම ප්‍රමුඛතාව ලෙස සැළකූ රෝහල් කාර්ය මණ්ඩලය එම විස්තර නොමැති වුව ද හෙතෙම හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි 58 වාට්ටුවට ඇතුළත් කර තිබිණි.
ඉන් අනතුරුව අලුයම ඔහු වාට්ටුවේ පෙනෙන්නට නොසිටි බැවින් අද(20) උදෑසන 4.00ට පමණ රෝගියා අතුරුදන් බව රෝහල් පොලිසියට දැනුම් දී ඇත. මාර්ගයේ කෙනෙකු වැටී සිටින බව ඒ අසළින් ගමන්ගත් අයකු රෝහලේ ආරක්ෂක අංශවලට දැනුම්දී ඇති අතර සොයාබැලීමේ දී අනාවරණය වී ඇත්තේ අලුයම් කාලයේ රෝහලෙන් අතුරුදන් වූ පුද්ගලයා මහමඟ මියගොස් ඇති බවයි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීම ඇතුළු ඉදිරි කටයුතු සඳහා මළ සිරුර හඳුනාගැනීමට කිසියම් ඥාතිකයකු අවශ්‍ය බැවින් මියගොස් ඇති පුද්ගලයා හඳුනාගැනීමට ගාල්ල පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
මේ වනවිට මෙම පුද්ගලයාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


