මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර මේ දිනවල පැවැත්වෙන ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය සමුළුව – Global Investigative Journalism Conference 2025 (GIJC25), ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ලෝකය පුරා විසිරී සිටින ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සහභාගී වන මෙම සමුළුව නියෝජනය කිරීමට RataLK වෙබ් අඩවියේ අපට ද අවස්ථාවක් ලැබීම විශේෂත්වයකි.
වෙබ් අඩවිය ආරම්භ කර වසර 04ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතර නියෝජනයක් හිමිවීම Rata වෙබ් අඩවියට පමණක් නොව ශ්‍රී ලංකාවට ද වැදගත් සංධිෂ්ඨානයක් වනු ඇත.
මහජන අවශ්‍යතා සහිත මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩාත් ම වැදගත් අවස්ථාවක් සඳහා ලොව පුරා සිටින ගවේෂණාත්මක වාර්තාකරුවන්, සංස්කාරකවරුන් සහ මාධ්‍ය පුහුණුකරුවන් මෙම සමුළුවට එක්රැස්ව සිටිති. මෙම වසරේ ඩිජිටල් විමර්ශන, දේශසීමා සහයෝගීතාවයන් සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් පවත්වන ලද මෙම සමුළුවට අප වෙබ් අඩවියේ නියෝජනය ඇතුළුව ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සහභාගී වීම කැපී පෙනෙයි.
සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිතයින් පවසන්නේ, මෙරට ප්‍රවෘත්ති කාමර හැකිලෙන සම්පත්, ඉහළ යන වැරදි තොරතුරු සහ ස්වාධීන වාර්තාකරණය කෙරෙහි ඇති පීඩනයන් සමඟ පොරබදමින් සිටින බැවින්, මෙම සැසි විශේෂයෙන් කාලෝචිත සහ අතිශය වැදගත් බවයි.
මූල්‍ය ලුහුබැඳීම, පාරිසරික විමර්ශන, AI සහාය ඇතිව සත්‍යාපනය සහ දේශසීමා දූෂණ විමර්ශන පිළිබඳ වැඩමුළු ශ්‍රී ලංකාවෙන් සහභාගී වූවන් අතර විශේෂ උනන්දුවක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකාව වැනි රටවල මාධ්‍යවේදීන්ට දූෂණය, දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ දේශගුණික විපත් වැනි සංකීර්ණ මාතෘකා වාර්තා කිරීම අතිශයින් දුෂ්කර වී ඇත. මෙම සමුළුවේ මූලික අවධානය යොමුව ඇත්තේ දේශපාලන නිදහස හැකිළෙමින් පවතින ආසියානු කලාපයේ, බලය නිසි ලෙස නිරීක්ෂණය කර වගවීම තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
අපේ රටට අත්‍යවශ්‍ය නව කුසලතා
අපගේ රට මේ වන විට මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් විසඳීමට අවශ්‍ය නව කුසලතා මෙම සමුළුව හරහා ලබා දෙයි.
මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් පසු, දූෂණය සහ මුදල් අවභාවිතය පිළිබඳව වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අත්‍යවශ්‍ය වේ. මෙම සමුළුවේ දී, විශාල දත්ත විශ්ලේෂණය (Data Journalism) මගින් රහස්‍ය මූල්‍ය ගනුදෙනු, ණය වංචා සහ දූෂණ ක්‍රමවේදයන් හෙළිදරව් කරන ආකාරය පිළිබඳව අත්දැකීම් හුවමාරු වෙයි. මෙවැනි අත්දැකීම් අපේ රටේ විමර්ශන මාධ්‍යවේදය ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
වර්තමානයේදී, බොහෝ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්, විශේෂයෙන් කාන්තා මාධ්‍යවේදීන්, සයිබර් ප්‍රහාර සහ ඔන්ලයින් හිරිහැරවලට ලක්වේ. සමුළුව තුළදී, තොරතුරු හුවමාරු කිරීමේදී රහස්‍යභාවය පවත්වා ගන්නේ කෙසේද, තමන්ගේ සහ තම මූලාශ්‍රවල ආරක්ෂාව පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉහළ මට්ටමේ දැනුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට අවස්ථාව උදා වී ඇත.
ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපාන දේශගුණික විපර්යාස පිළිබඳව, ජාත්‍යන්තර සහයෝගීතාවක් ද සහිතව වාර්තා කරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු වේ. මත්ස්‍ය සම්පතට හානි කරන සාගර දූෂණය, නීති විරෝධී පතල් කැනීම් සහ පාරිසරික අපරාධ සෞඛ්‍යය ගැටලු හෙළිදරව් කිරීමට අවශ්‍ය විශේෂ දැනුම බෙදා ගැනීම සහ අත්දැකීම් හුවමාරුව මෙම සමුළුවේ දී සිදුකෙරෙයි.
කලාපීය සහයෝගිතාව සහ ශ්‍රී ලංකාව
මෙම සමුළුව ආසියාවේ පැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට කලාපීය සහයෝගිතා ජාලයන්ට පහසුවෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. දූෂණය, ණය අර්බුද, සහ දේශගුණික විපත් යන ගැටලු අපේ කලාපයේ පොදු බැවින්, අසල්වැසි රටවල මාධ්‍යවේදීන් සමඟ එකතු වී ගවේෂණ සිදුකිරීමට (Cross-border collaboration) අවශ්‍ය මගපෙන්වීම මෙහිදී ලැබේ. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද මෙම සමුළුවේ සැසිවාර සඳහා සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගනිති.
GIJC25 යනු සරල පුහුණු වැඩසටහනකට වඩා වැඩි දෙයකි. එය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අතිශයින් අවශ්‍ය වන විශ්වාසය, තාක්ෂණය සහ ධෛර්යය ලබා දෙන කේන්ද්‍රීය අවස්ථාවකි. මෙම සමුළුව තුළින් ලබා ගන්නා කුසලතා, අපේ රටේ මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමටත්, දූෂණයට එරෙහිව සටන් වැදීමටත්, ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ වගවීම තහවරු කිරීමටත් සෘජුව දායක වනු ඇත.


