27.9 C
Galle

අයහපත් කාලගුණයෙන්, ගුවන් ගමන්වලටත් බාධා

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසයි.

මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළට යාමට පෙර 1979 ක්ෂනික දුරකථන අංකයෙන්, +94 117 771979 අංකයෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල සහ  ඉන්දයාවේ තිවේන්ද්‍රම් හා කොචින් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත. 

ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී- 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ. ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ- 047යන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.

ඊට අමතරව කටුනායක ගුවන්තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 254 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 277 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇත.

ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 ගුවන් යානය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම නිසා යළිත් ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙලෙස පියවර ගත් බව වැඩිදුරටත් සඳහන් වෙයි.

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගුවන් ගමන් බාධාවකින් තොරව පවත්වා ගැනීමේ පරිසරයක් පැවතියද , එයින් පිටත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය මෙම ගුවන්යානාවලට බාධාවක් වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එහෙත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්වන ගුවන් යානා රාශියක් සිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙන යමින් සිටින බවද සඳහන්ය.

එසේම මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ සලාම් එයාර් ගුවන් යානය ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!