කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි වූ බව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුල්මුඩේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බසයකි. පාලම හරහා විශාල ජල කඳක් ගලායද්දී ප්‍රදේශවාසීන් බසය නතර කරන ලෙස කියද්දී රියදුරා එම බසය නොනවත්වා ධාවනය කර තිබිණි. අනතුරුව බසය පාලම මත දී නතර වූ අතර ක්‍රමයෙන් බසයට වතුර පිරෙන්නට විය.
එහි පැමිණි නාවික හමුදා සාමාජිකයන් තිදෙනකු ඇතුළත සිටි පුද්ගලයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඔවුන් එම බසයෙන් ඉවත්කර බසය මතටත් ඉන් අනතුරුව අසළ නිවසක තිබූ වහළක් මතටත් රැගෙන ගොස් තිබිණි. ඉන් අනතුරුව බසය ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් විය.
දිවි බේරාගත් පිරිස පවසන්නේ තමන් බලා සිටිය දී අනෙක් නිවාසවල වහළවල් කැඩි කැඩී ගිය බවයි.
මේ පිළිබඳ ඊයේ (28) උදෑසන පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු වූ අතර පිරිස බේරාගැනීමට හෙලිකොප්ටර් යානා යොදවන බව කීව ද පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ එය අසීරු වී තිබිණි. කෙසේ වෙතත් පසුව එම ස්ථානයට හෙලිකොප්ටර් යානයක් ළඟා වී තිබිණි. නමුත් වහළය මත 70ක පමණ පිරිසක් රැඳී සිටි බැවින් හෙලිකොප්ටරය ඒ ආසන්නයට ගැනීමේ දී ඇතිවන සුළං ධාරාව නිසා වහළ ගැලවීයාමේ අවධානමක් ඇතිවිය හැකි බැවින් විපතට පත්ව සිටි පිරිස ම හෙලිකොප්ටර් යානයට ආපසු යන ලෙස ඉල්ලීමක් කර තිබේ.
නාවික හමුදාව බෝට්ටු යොදා පිරිස බේරාගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට උත්සාහ ගත්ත ද එය ඊයේ (28) දිනයේ දී ඉතාමත් අසීරු වී තිබිණි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ රාත්‍රියේ සිට සිදුකරන ලද ඉතාමත් වෙහෙසකර මෙහෙයුමකින් ඔවුන් බේරාගත් අතර පළමුව පුද්ගලයන් 34 දෙනකු නොච්චියාගම රෝහලට රැගෙනවිත් තිබිණි. අද පෙරවරුවේ අනෙක් සියලු දෙනාම බේරාගැනීමට එම මෙහෙයුමෙන් හැකියාව ලැබිණි.
එසේ වුව ද රෝහල්ගත කිරීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව සඳහන්වේ.


