24.1 C
Galle

සජිත්, ජගත් සහය ඉල්ලා තානාපතිවරුන් හමුවෙයි

Published:

ආපදා තත්වය හේතුවෙන් බිඳ වැටුණු රට ගොඩනැගීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනිය, ජපන් තානාපතිනිය සහ කොරියානු තානාපති හමුවී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isamota සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවේ දී ජපානයේ සහන සේවා කණ්ඩායම් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ සිය ස්තූතිය පළ කළ විපක්ෂ නායකවරයා  ජපානය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු ලෙස මෙතෙක් කටුයුත කළ ආකාරයෙන් ඉදිරියේ දී ද සහාය දෙන ලෙස ඉල්ලීමක් කළේය.

විශේෂයෙන් නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විනාශවී ගිය මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් ජපාන රජයේ දැනුම සහ තාක්ෂණික දායකත්වය වැදගත් බව විපක්ෂනායක වරයා පෙන්වා දුන්නේය.

යටිතල පහසුකම් බිඳවැටීම හරහා ජීවනෝපාය අහිමිවීම්, අවතැන්වීම් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි සැපයීමේ බරපතල ගැටළු මතුව ඇති බවත්, අපදා තත්ත්වයෙන් පසු රටතුළ උද්ගතවන සෞඛ්‍ය ගැටළු සහ වසංගත රෝග තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණදීමට ජපානයේ සහය ලක් රජයට ලබාදෙන ලෙස ද මෙහි දී ඉල්ලීමක් කෙරිණි.

කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන මියෝන් ලී සමඟ සාකච්ඡාව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

ගංවතුර බැසයාමෙන් පසුව ඇති වන සෞඛ්‍ය ගැටළු සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, රෝහල් රැසක කටයුතු අඩපණ වීමත්, දුම්රිය මාර්ග සහ මහා මාර්ග හානිවීම නිසා ප්‍රවාහන කටයුතු බිඳ වැටීම නිසා ඒවා නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව කොරියානු තානාපතිනියට පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සඳහා හැකි සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළේ ය.

ශ්‍රී ලංකා ජනතාවගේ දීර්ඝ කාලීන සමීප මිතුරකු ලෙස කොරියානු ජනරජය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදුන්නා සේම, මේ අවස්ථාවේ දී රටක් ලෙස යළි නැගී සිටීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ සිටින යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහි දී දෙදෙනා අතර අදහස් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පවතින ආපදා තත්ත්වය සහ ඉන් පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමයට ලබා දිය හැකි උපරිම දායකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටිින ලදී.

ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යාමටත් බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසත් මේ අවස්ථාවේ යුරෝපා සංගමය ප්‍රමුඛ ගෝලීය නායකයන් විසින් ලබා දෙන සහාය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවත් පෙන්වාදුන් විපක්ෂ නායකවරයා එම සහාය ලබාගැනීමට යුරෝපා සංගමයේ සහයෝගය අපේක්ෂා කරන බව ද කීවේය.

සියලුම දේශීය හා ජාත්‍යන්තර සහන කටයුතු ආපදාවල ලක්වූ ප්‍රජාවන්ට ළඟා වන බව සහතික කිරීම සඳහා විනිවිද පෙනෙන, වගකිවයුතු සහ දේශපාලනීකරණය නොවූ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරුන්ට පෙන්වා දීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!