25.9 C
Galle

ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකය, රජයේ අසාර්ථකත්වය හෙළිකරයි

Published:

“දිට්වා” සුළි කුණාටුවට නිවැරදි ලෙස මුහුණ දීමට නොහැකිවීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ම දැඩි පීඩාවකට ලක්ව සිටින අතර මෙම අර්බුදය රටේ හදිසි ප්‍රතිචාර පද්ධතියේ ගැඹුරු දුර්වලතා ඉස්මතු කරයි.

“දිට්වා” සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් දින කිහිපයකට පසු, රටේ ඇති වූ දරුණුතම ගංවතුර ව්‍යසනයෙන් රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 1.46කට අධික ජනතාවක් තවමත් පීඩාවට පත්ව සිටිති.

රජයේ දත්ත අනුව නිල වශයෙන් මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 607 ක් වන අතර පුද්ගලයින් 214 ක් අතුරුදන් වී ඇත. බලපෑමට ලක් වූ පවුල් 407,000 කට අයත් 64,000 කට වැඩි පිරිසක් රට පුරා රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක මධ්‍යස්ථාන 1,450 කට ආසන්න සංඛ්‍යාවක නවාතැන් ගෙන සිටිති.

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමේ දී ඉන්දියාව ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව ආධාර ඉල්ලා කළ ආයාචනයට රටවල් කිහිපයක් ප්‍රතිචාර දක්වා ඇත. එක්සත් රාජධානිය, චීනය, ඕස්ට්‍රේලියාව සහ නේපාලය යන රටවල් ද ශ්‍රී ලංකාවට උදව් කරන බවට ප්‍රතිඥා දී තිබේ. සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශය තුළින් සහ ජාත්‍යන්තර ආධාර මත යළි රට කඩිනමින් නගා සිටුවන බවට පොරොන්දු වුවද, ශ්‍රී ලාංකික මහජනතාව රජයේ ප්‍රතිචාරය කෙරෙහි වැඩි වැඩියෙන් කලකිරීමට පත්ව ඇති බව පෙනේ. බලධාරීන් ගලවා ගැනීමේ ඉල්ලීම්වලින් යටපත් වී ඇති අතර ඒකාබද්ධ සහන සහ ගලවා ගැනීමේ පද්ධතියක් නොමැති බව විචාරකයින් පෙන්වා දෙන වැදගත් කරුණකි.

එබැවින් ආපදා අවස්ථාවේ කාලෝචිත ආකාරයකින් සන්නිවේදනය කිරීමට අරගල කරති.

කොළඹ පදනම් කරගත් විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා රජය අනතුරු ඇඟවීමේ කරුණුවලට අවනත නොවීම සහ මිනිස් පාලනයෙන් ඔබ්බට ව්‍යසනය පැතිර යාමට ඉඩ හැරීම සම්බන්ධයෙන් චෝදනා කරයි.

“අර්බුදය හැසිරවීමේදී රජය හොඳින් කටයුතු කර නොමැති අතර, ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවිය යුතුව තිබුණි,” පාක්‍යසෝති සරවණමුත්තු පවසයි.

සරවනමුත්තුට අනුව, “මෙම ව්‍යසනය සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන්හි සැලකිය යුතු හිඩැස් හෙළි කරයි” සහ “අනාගත අසාර්ථකත්වයන් වැළැක්වීම සඳහා” පවතින රාමු ඇගයීමට ලක් කළ යුතුය.

නොවැම්බර් 28 වන දින දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වූ අතර , ඇතැම් පුද්ගලයන් පෙන්වා දෙන්නේ සති දෙකකට පෙර සිටම අනතුරු ඇඟවීමේ සංඥා තිබූ බවයි. රජය කාලෝචිත ආකාරයකින් ක්‍රියා කිරීමට අපොහොසත් වීම නිසා ජීවිත හානි තවත් උග්‍ර වූ බව විශේෂඥයෝ කියති.

විද්‍යා ලේඛකයකු මෙන්ම මාධ්‍ය පර්යේෂකයකු වන නාලක ගුණවර්ධන පවසන්නේ, “සුනාමි මෙන් නොව, සුළි සුළං, ගංවතුර වැනි කාලගුණ විද්‍යාත්මක උපද්‍රව පැමිණෙන්නේ පූර්වාරක්ෂාව ගැනීමට ප්‍රමාණවත් දින කිහිපයක දැනුම්දීමක් සමඟිනි. නොවැම්බර් 12 වන දින සිටම, ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාසයේ අග භාගයේ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ පුරෝකතනය ප්‍රසිද්ධියේ පෙන්වා තිබුණා. එම අනතුරු ඇඟවීමට අනුව මධ්‍යම, පළාත් සහ පළාත් පාලන මට්ටමින් රජය පුරා සූදානම් වීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුව තිබුණා” යනුවෙනි.

“පෙනෙන විදිහට, එය සිදු නොවූ අතර, නිල ප්‍රතිචාරය බොහෝ දුරට ප්‍රතික්‍රියාශීලී වී ඇත්තේ දිට්වා සුළි කුණාටුව ආසන්න වූ විට හෝ එය ගොඩබිමට පැමිණි පසුයි” ගුණවර්ධන තවදුරටත් පැවසීය.

“නරක ව්‍යසනයක් තවත් නරක අතට හැරවූ අඛණ්ඩ අසාර්ථකත්වයන් සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා සමස්ත ආපදා කළමනාකරණ ව්‍යුහයම වගකිව යුතුයි.”

මහජන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් සහ නීති තීරු ලිපි රචිකාවක් වන කිෂාලි පින්ටෝ-ජයවර්ධන එකඟ වන්නේ, එහි ප්‍රතිඵලය “විශේෂයෙන් භයානක වන්නේ සුළි කුණාටුවේ මාරාන්තික බලපෑම බොහෝ ප්‍රමාද වන තුරු අවබෝධ කර නොගත් බැවිනි” යනුවෙන් පවසමිනි.

හදිසි අවස්ථා වලදී රජයන්ට “තීරණාත්මක තීරණ ගැනීමේ හැකියාව සහ නිපුණතාවය” තිබිය යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

“අර්බුදකාරී කාලවලදී ‘එකට එක්වීම’ ගැන ජනතාවට ප්‍රශංසා කරන දේශපාලනඥයින්ගේ හැඟීම්බර ප්‍රකාශ එම යුතුකමට ආදේශකයක් නොවේ” ඇයගේ අදහසයි.

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන, යුද්ධයෙන් පසු දේශපාලන කටයුතුවල නියැලී සිටින සිවනාදන් නවීන්ද්‍ර පැවසුවේ, සුළි කුණාටුව හේතුවෙන් උතුරු ප්‍රදේශවල මාර්ගවලට සහ සන්නිවේදන මාර්ග වලට හානි සිදුවී ඇති බවයි.

“උතුරු මන්නාරම, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල තත්ත්වය අතිශයින් දරුණුයි.  මුලතිව්හි විදුලි සංදේශ කුළුණු බිම වැටී ඇති අතර, එහි පදිංචිකරුවන්ට දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් නැත.” යනුවෙන් යාපනයේ සිට සිවනාදන් නවීන්ද්‍ර පැවසීය.

“මාර්ග වැසී යාම හේතුවෙන් උතුරු පළාත මේ වනවිට වෙන් වී ඇති අතර වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය අතර ගමනාගමනය කළ නොහැකි වී තිබෙනවා.” ඔහු පැවසීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අනතුරු ඇඟවූයේ ජල මට්ටම ඉහළ යාම නිසා ඉවත් කිරීම “අතිශයින් දුෂ්කර” වනු ඇති බවයි. කැලණිය ගඟ දිගේ සහ ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

“දිට්වා සුළි කුණාටුව නිසා අතිමහත් දුෂ්කරතා ඇති වී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා එහි බලපෑම අධ්‍යයනය කිරීමට සහ සහන සංවිධානය කිරීමට කාර්ය සාධක බලකායන් පිහිටුවා තිබෙනවා. නැවත ගොඩනැගීමට යම් කාලයක් ගතවනු ඇත,” අබේසිංහ කීවේ ය.

සුළි කුණාටුවේ ගමන් මග පුරෝකථනය කිරීමේදී මුලින් ම ගැටලු ඇති වූ බව චතුරංග අබේසිංහ පවසයි. අපේක්ෂා කළ ආකාරයට ම සැලකිය යුතු වර්ෂාපතනයක් විවිධ ප්‍රදේශවලින් ලැබුණු බවත්, එමඟින් “විපතට පත්වූවන් ගලවා ගැනීමේ දී ඔවුන් වෙත ළඟා වීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වල ඇති ධාරිතාවෙන් ඔබ්බට ආපදා තත්වය විහිදී ගියා” යැයි ද ඔහු පවසයි.

විපවතට පත්ව ඇති සහ හුදකලා වී ඇති අවදානමට ලක්වූ හා ලක්විය හැකි පිරිස් වෙත ළඟා වීමට රජය යුද හමුදාවේ සහය ගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෑතකදී රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රතිඥා දෙයි. එහි ප්‍රකාශකයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මෙම ව්‍යසනයේ බරපතලකම 2019 දී පුද්ගලයින් 270 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර සහ බලවත් රාජපක්ෂ පවුල යටතේ මෑත කාලීන ආර්ථික බිඳවැටීම සමඟ සංසන්දනය කළේය .

“රාජපක්ෂලාට ජාතිය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති අපරාධ නඩුවට සමානව, ව්‍යසනයෙන් මියගිය සෑම පුරවැසියෙකුටම වත්මන් රජය වගකිව යුතු බැවින්, අපි ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නෙමු,” මරික්කාර් සඳුදා මාධ්‍යයට කීවේය.

සහන ද්‍රව්‍ය කිහිපයක් ලබා දී තිබියදීත්, ඇතැම් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට හදිසි කණ්ඩායම් පැමිණියද, සම්පූර්ණ උපකාර ලැබෙන්නේ කවදාද සහ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැක්කේ කවදාද යන්න පිළිබඳව බොහෝ ප්‍රජාවන්ට තවමත් පැහැදිලි බවක් නොමැත.

දුස් තොරතුරු පිළිබඳ පර්යේෂකයකු සහ විශ්ලේෂක සංජන හත්තොටුවට අනුව, ආපදා සන්නිවේදනය සඳහා නිලධාරීන් භාවිතා කරන භාෂා තේරීම සැලකිය යුතු සන්නිවේදන බාධාවකි.

සිංහල භාෂාව බහුතරයකගේ භාෂාව සහ දෙමළ භාෂාව යන දෙකම රාජ්‍ය භාෂාව ලෙස ශ්‍රී ලංකාව පිළිගනී. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශේෂයක් වන ඉංග්‍රීසි භාෂාව ද ජනගහනයෙන් හතරෙන් එකක් පමණ විවිධ මට්ටම්වලින් කතා කරයි.

“මගේ පර්යේෂණයෙන් පෙනී ගියේ ප්‍රධාන යාවත්කාලීන කිරීම් සිංහල භාෂාවෙන් පමණක් බවයි, සමහර විට ඉංග්‍රීසි භාෂාවෙන් පිළිබිඹු වන නමුත් කලාතුරකින්, ඉඳ හිට දෙමළ භාෂාවෙන් පිළිබිඹු වන බවයි. රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය සමාජ මාධ්‍යවල පැහැදිලිව පෙනෙන දේ පිළිබිඹු කරමින් අවදානම් සහ හානිය පිළිබඳ නිවැරදි සන්නිවේදනයක් කළේ නැහැ.” හත්තොටුව කීවේය.

“මෙය තීරණාත්මක පැයවලදී තොරතුරු රික්තයකට දායක වූ අතර එය සූදානම සහ ප්‍රජා ප්‍රතිචාර කෙරෙහි බලපෑම් ඇති කළා.” ඔහු පැවසීය. “තොරතුරු වඩාත් ඵලදායී හා කාලෝචිත ආකාරයකින් ලබා ගත හැකිව තිබුණේ නම්, දැන් අහිමි වන ජීවිත බේරා ගත හැකිව තිබුණා.”

සංස්කරණය කළේ: ඩාර්කෝ ජැන්ජෙවික්

මෙම ලිපිය dw.com හි පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි. එහ මුල් ලිපියේ සබැඳිය මෙතැනින්

ඡායාරූපය – Manoj Dhananjaya

Related articles

Recent articles

error: Content is protected !!