23.3 C
Galle

පාසල් ගැන විශේෂ නිවේදනයක්. වාර විභාග නෑ

Published:

බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද යන පළාත් 06ක සියලු පාසල් ලබන අඟහරුවාදා (16) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (09) සවස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියේ ය.

ඒ අනුව මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් එදිනට විවෘත කෙරේ.

කෙසේවෙතත් විවෘත කිරීමට නොහැකි පාසල් 147ක් පළාත් 3කට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක්, බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් සහ වියළුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් තවදුරටත් විවෘත නොකෙරෙන බව සඳහන් කළේය.

මහව අධ්‍යාපන කලාපයට අයත් පාසලක්, ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් ලෙස වයඹ පළාතේ පාසල් 6ක් ද එදිනට විවෘත නොකෙරෙයි.

එමෙන්ම මධ්‍යම පළාතේ පාසල් 115ක් දෙසැම්බර් 16 වනදා අධ්‍යාපන කටයුතු සඳහා විවෘත නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්, දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, වලපනේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක්, කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 17ක්, මාතලේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 38ක්, නාවුල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක් විවෘත නොකෙරෙනු ඇත.

මේ අතර සියලු පාසල්වල තෙවැනි වාර විභාගය අවලංගු කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම්වලට මූලිකත්වය ලබා දී කටයුතු කළ යුතු බැවින් වාර විභාග පැවැත්වීමකින් තොරව සිසුන් ඊළඟ ශ්‍රේණියට සිසුන් උසස් කිරීමටද එහිදී තීරණය කර ඇත.

කෙසේ නමුත් 11 ශ්‍රේණියේ සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පෙරහුරුවක් වශයෙන් එම ශ්‍රේණියට පමණක් ජනවාරි මස දී පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් නියමිතය.

2025 වර්ෂය සඳහා තෙවන වාර විභාගය අවලංගු කර ඇති බැවින් එම සිසුන්ගේ සාධන මට්ටම ඇගයීම සඳහා පන්ති මට්ටමින් ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!