ආර්ථික අර්බුදයකට ලක්ව සිටි ග්‍රීසියේ බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.
අජිත් නිවාඩ් කබ්රාල් මෙම මුදල ආයෝජනය කර ඇත්තේ 2012 වර්ෂයේ දී ය.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවයි. එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසයි.
ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ කොන්දේසිවලට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියෝග කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙර ද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි. එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබිණි.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් පසුගිය වසරේ දී මෙම නඩුව යළි ගොනුකරනු ලැබීය.


